5. සුද්ධන්ත පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. ඒ භික්‍ෂු තෙම ඇවැත් කෙළවර නො දනියි. රාත්‍රි කෙළවර නොදනී. ඇවැත් කෙළවර සිහි නො කරයි. රාත්‍රි කෙළවර සිහි නො කරයි. ආපත්තීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. රාත්‍රීන්ගේ සීමායෙහි විමති ඇත්තේ වෙයි. ඒ භික්‍ෂු තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙමි. ආපත්තීන්ගේ අන්තය නොදනිමි. රාත්‍රීන්ගේ අන්තය නො දනිමි. ආපත්තීන්ගේ අන්තය සිහි නො කරමි. රාත්‍රීන්ගේ අන්තය සිහි නො කරමි. ආපත්තීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. රාත්‍රීන්ගේ අන්තයෙහි විමති ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. මහණුනට දැන්වී ය. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
2. මහණෙනි, එසේ නම්, සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂුහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දේවා. මහණෙනි, ඒ සුද්ධන්තපරිවාසය මෙසේ දියැ යුතු යි: මහණෙනි, ඒ භික්‍ෂු විසින් සඞ්ඝයා වෙත එළඹ ... මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙමි. ඇවැත් කෙළවර නො දනිමි. රාත්‍රි කෙළවර නො දනිමි. ඇවැත් කෙළවර සිහි නො කරමි, රාත්‍රි කෙළවර සිහි නො කරමි. ඇවැත් කෙළවරෙහි විමති ඇත්තෙමි. රාත්‍රින්ගේ කෙළවරෙහි විමති ඇත්තෙමි. වහන්ස, ඒ මම් ඒ ඇවැත් පිණිස සුද්ධන්ත පරිවාසය සඞ්ඝයා යදිමි’ යි යැදිය යුතු. දෙවනු ද යැදිය යුතු. තෙවනු ද යැදිය යුතු:
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නොදනී. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත්තේ ය. රෑ පිරියතෙහි විමති ඇත්තේ ය. ඒ මහණ තෙම ඒ ඇවැත් පිණිස සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්‍මයෙක් නම්, සඞ්ඝ තෙම මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙන්නේ ය. මේ ඥප්ති යි.
සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත් අවනි. ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත් පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. ඒ මහණ තෙම ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය සඞ්ඝයා යදියි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහට ඒ ආපත්තීනට සුද්ධන්තපරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතකුට අනභිමත නම් හෙතෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි. තෙවනුත් මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණහට ඒ ඇවැත්නට සුදත් පිරිවෙස දෙන ලදී. එය සඞ්ඝයාට අභිමත යි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ පිළිගණිමි” යි.
4. මහණෙනි, මෙසේ සුද්ධන්තපරිවාසය දිය යුතු. මෙසේ පරිවාසය දිය යුතු.
5. මහණෙනි, සුද්ධන්තපරිවාසය කෙසේ දිය යුතු ද?
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත නොදනියි. ඇවැත්පිරියත සරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි විමති නැති. රෑපිරියතෙහි විමති ඇති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු.”
“ඇවැත්පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. රෑ පිරියත නො දනියි. ඇවැත්පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. රෑ පිරියත නො සරයි. ඇවැත්පිරියතෙහි සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති, රෑ පිරියතෙහි විමති ඇත. (ඔහුට ද) සුද්ධන්ත පරිවාසය දිය යුතු.”
“ඇවැත් පිරියත නො දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත නො සරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. (ඔහුටද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ඇවැත් පිරියත දනියි. රෑ පිරියත සමහරෙක දනියි. සමහරෙක නො දනියි. ඇවැත්පිරියත සිහිකරයි. රෑ පිරියත සමහරෙක සිහි කරයි. සමහරෙක නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි විමති නැති. රෑ පිරියත සමහරෙක විමති ඇති. සමහරෙක විමති නැති. (ඔහුට ද) සුද්ධන්තපරිවාසය දිය යුතු යි.”
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. රෑ පිරියත සමහරක් දනියි. සමහරක් නො දනියි. ඇවැත් පිරියත සමහරක් සිහි කරයි සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සමහරක් සිහි කරයි. සමහරක් නො සිහි කරයි. ඇවැත් පිරියතෙහි සමහරෙක්හි විමති ඇත. සමහරෙක්හි විමති නැත. රෑ පිරියතෙහි සමහරෙක විමති ඇත. සමහරෙක විමති නැත. සුද්ධන්තපරිවාසය දියයුතු”. මහණෙනි, සුද්ධන්තපරිවාසය දියයුතු මෙසේය.
6. මහණෙනි, පිරිවෙස දිය යුතු කෙසේද?
“ඇවැත්පිරියත දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති නැත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු යි.
ඇවැත්පිරියත නො දනියි. රෑ පිරියත දනියි. ඇවැත්පිරියත නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ඇවැත්පිරියතෙහි විමති ඇත. රෑ පිරියතෙහි විමති නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු.
“ඇවැත් පිරියත සමහරක් දනියි. සමහරක් නොදනියි. රෑ පිරියත දනියි. ඇවැත් පිරියත සමහරක් සිහිකරයි. සමහරක් නො සිහි කරයි. රෑ පිරියත සිහි කරයි. ආපත්තිපර්‍ය්‍යන්තයෙහි සමහරෙක විමතී ඇත සමහරෙක විමති නැත. රාත්‍රිපර්‍ය්‍යන්තයෙහි විමතී නැත. (ඔහුට) පිරිවෙස දිය යුතු”. මහණෙනි, මෙසේ පිරිවෙස දිය යුතු.
පිරිවෙස නිමි.