2. චිරපටිච්ඡන්නඅග්ඝසමෝධාන පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. දෙ ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. තුන් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. සිවු ඇවැතෙක් සිවු දිනක් පිළිසන් ය. ඇවැත් පසෙක් පස් දිනක් පිළිසන් ය. ඇවැත් සයෙක් සදිනක් පිළිසන් ය. ඇවැත් සතෙක් සත් දිනක් පිළිසන් ය. ඇවැත් අටෙක් අට දිනක් පිළිසන් ය. ඇවැත් නවයෙක් නව දිනක් පිළිසන් ය. ඇවැත් දසයෙක් දස දිනක් පිළිසන් ය.
2. හෙ තෙම “ඇවැත්නි, මම් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... ඇවැත් දසයෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යී මහණනුනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් හැමට වැඩිකල් පිළිසන් යම් ඇවැත්හු වෙද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, සමෝධාන පිරිවෙස මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින්, සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙවැ ... මෙසේ කිය යුතු: “වහන්ස, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම් ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් පිළිසන් වූහු ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදිමි”යනු යි. දෙවනුත් යැදිය යුතු: ... තෙවනුත් යැදිය යුතු.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදියි. ඉදින් කර්‍මය සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මෙ මේ භික්‍ෂූ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන්ය ... දස ඇවැතෙක් දස දිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය යදියි.
සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. යම් ආයුෂ්මතකුට මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනාහු ද ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසයාගේ දීම අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙතෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනෝ ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි (පිළිගණිමි).
අග්ඝසමෝධානය නිමි.
3. දෙමස් පිරිවෙස
1. එ කල්හි එක්තරා මහණෙක් දෙමසක් පිළිසන්වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්‍ෂූහට “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය. හෙ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යැදී ය. සඞ්ඝ තෙමේ ඒ භික්‍ෂූහට දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස දුන පිරිවෙස් පුරණ ඔහුට ලජ්ජිධර්‍මය පහළවිය: “මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට - මම් දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමසක් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැයි මේ සිත උපන. ඒ මම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලීමි. සඞ්ඝ තෙම දෙමසක් පිළිසන් වූ එක් ඇවැතකට දෙමස් පිරිවෙස ඒ මට දුන්නේ ය. පිරිවෙස් පුරණ මට - මම දෙමසක් පිළිසන් වූ අන් ඇවැතට ද දෙමස් පිරිවෙස සඞ්ඝයා යදින්නෙම් නම් යෙහෙකැ”යි. ලජ්ජීධර්‍මය පහළ විය.
2. ඒ භික්‍ෂූ තෙම භික්‍ෂූන්හට මෙසේ කීය. “ඇවැත්නි, මම් දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස් පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය. ඒ මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඞ්ඝයා යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ දෙමසක් පිළිසන් එක් ඇවැතට දෙමස් පිරිවෙස දුන. පිරිවෙස් පුරණ ඒ මට ‘මම් වනාහි දෙමසක් පිළිසන් වූ, සඟවෙසෙස් ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජීධර්‍මය පහළවිය. මම් දෙමසක් පිළිසන් එක් ඇවැතකට දෙමස්පිරිවෙස සඟහු යදින්නෙම් නම් යෙහෙකැ’ යි මේ සිත විය.