1. අග්ඝසමෝධාන පිරිවෙස
1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සිවුදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් පස්දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සත් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් අටදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් නවදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය.
2. හෙ තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මහණුනට සැළ කෙළේ ය. ඔහු භාග්යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. (භාග්යවතුන් වහන්සේ මේ වදාළහ:) “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ඒ ඇවැතේ ප්රමාණයෙන්) සමෝධාන පරිවාසය දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණහු විසින් සංඝයා වෙත එළඹ මෙසේ කිය යුතු: “වහන්ස මම බොහෝ සඟවෙසෙස් ඇවැත් වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.
3. ව්යක්ත ප්රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් දිනක් පිළිසන් එක් ඇවැතෙකි … එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පිරිවෙස සඟහු යදියි. ඉදින් සඞ්ඝයාට ප්රාප්තකාල කර්මයෙක් වී නම්, සඞ්ඝ තෙම් මේ නම් භික්ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.
වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙනම් මහණ තෙම බොහෝ සහ වෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. ඒ මහණ එ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, එ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදී. සඞ්ඝ තෙම මෙ නම් මහණහට යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසදානය යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා, යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් මෙනම් මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ප්රමාණයෙන්) සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”
අග්ඝසමෝධානය පරිවාසය නිමි.