බ්රහ්මදණ්ඩ කථාව
13. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්ෂුන්ට මෙය කීහ. වහන්ස, භාග්යවතුන් වහන්සේ පරිනිර්වාණ කාලයෙහි මට මෙසේ වදාළසේක: ආනන්ද, එසේ වී නම් මා ඇවෑමෙන් සඞ්ඝයා ඡන්න භික්ෂූහට බ්රහ්මදණ්ඩය අණ කෙරේවා’යි. ඇවැත් ආනන්දයෙනි, “වහන්ස බ්රහ්මදණඩය නම් කවරේ දැ”යි තෙපි භාග්යයවතුන් වහන්සේ විචාළහු දැ යි. වහන්ස, මම භාග්යවතුන් වහන්සේගෙන්, “වහන්ස, බ්රහ්මදණ්ඩය නම් කවරේ දැ”යි විචාළෙමි. ආනන්ද, ඡන්න භික්ෂූ තෙම යමක් කැමැති නම් එය කියන්නේ ය. භික්ෂූන් විසින් ඡන්න භික්ෂුතෙම නො ම බිණියයුතු ය. ඔවදන් නොකළයුතු ය. අනුශාසනය නො කළයුතු යි. ඇවත් ආනන්දයෙනි, එසේ වී නම් තෙපි ම ඡන්න භික්ෂූවට බ්රහ්මදණ්ඩය අණ කරව’යි.
වහන්ස, මම කෙසේ ඡන්න භික්ෂූවට බ්රහ්මදණ්ඩය අණ කෙරෙම් ද? ඒ මහණ චණ්ඩ ය, පරුෂ යයි. ඇවැත් ආනන්දයෙනි, එසේ වී නම් බොහෝ භික්ෂූන් සමග යව’යි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්ෂූන්ට එසේ ය. වහන්සැ’ යි පිළිවදන් දී පන්සියක් පමණ වූ මහත් භික්ෂූපිරිසක් සමග නැවෙන් කොසඹෑ නුවර වෙත උඩුගංබලා ගියහ. නැවෙන් බැස උදේන රජුගේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.
14. එසමයෙහි උදේන රජ අන්තඃපුර ජනයා සමග උයනෙහි හැසිරෙයි. උදේන රජුගේ අන්තඃපුර ජනයා “අපගේ ආචාර්ය්ය වූ ආනන්ද ආර්ය්යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්සේකැ”යි ඇසී ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා උදේන රජහට මෙසේ කී ය: “දේවයන් වහන්ස, අපගේ ආචාර්ය්ය වූ ආනන්ද ආර්ය්යයන් වහන්සේ උයනට නුදුරෙහි එක්තරා රුක් මුලෙක හුන්සේක. දේවයන් වහන්ස, අපි ආනන්ද ආර්ය්යයන් වහන්සේ දක්නට කැමැත්තම්හ”යි. එසේ නම් තෙපි ආනන්ද ශ්රමණයා දකිවුයි.
ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වූ උදේන රජුගේ අන්තඃපුර ජනයාට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැහැමි කථාවෙන් මොනොවට කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද, සමාදන් කරවනලද, තෙදගන්වන ලද, සතුටු කරවන ලද උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උතුරුසළු පන්සියයක් ප්රදානය කෙළේ ය. ඉක්බිති උදේන රජුගේ අන්තඃපුර ජනයා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ භාෂිතයට සතුටු වී අනුමෝදන් වී හුනස්නෙන් නැඟී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳ පැදකුණු කොට උදෙනරජ යම් තැනක ද එතැනට එළඹියේ ය.
උදේන රජ එන්නා වූ අන්තඃපුර ජනයා දුරදී ම දුටුවේ ය. දැක අන්තඃපුර ජනයාට මෙය කී ය: “තෙපි ශ්රමණ ආනන්ද දුටු දැ”යි. “දේවයිනි, අපි ආනන්ද ආර්ය්යයන් දුටුම්හ යි”. තෙපි ශ්රමණ ආනන්දට කිසිවක් දුන්නු දැ යි. දේවයිනි, අපි ආනන්ද ආර්ය්යයන් වහන්සේට උතුරුසළු පන්සියයක් දුනුම්හ’යි. කෙසේ නම් ශ්රමණ ආනන්ද තෙම එපමණ බොහෝ සිවුරු පිළිගත්තේ ද. ශ්රමණ ආනන්ද තෙම රෙදි වෙළඳාම හෝ කරන්නේ ද, රෙදි වෙළඳ හලක් විවෘත කරන්නේ දැ යි. උදේන රජ එය ලමු කොට සිතයි. නුගුණ කියයි. දොස් පතුරුවයි.
15. ඉක්බිති උදේන රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උදෙනරජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “භවත් ආනන්දයෙනි, අපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ දැ’යි මෙය කී ය.
මහරජ තොපගේ අන්තඃපුර ජනයා මෙහි ආයේ යැ’යි.
භවත් ආනන්දහට කිසිවක් දුන්නේ දැ’යි.
මහරජ මට උතුරුසළු පන්සියක් දුන්නේ යැ’යි,
භවත් ආනන්ද තෙම එපමණ බොහෝ සිවුරු කුමක් කරන්නේ දැ’යි.
මහරජ, යම් භික්ෂූ කෙනෙක් දුබල සිවුරු ඇත්තාහු ද ඔවුන් සමග බෙදාගන්නෙමි’ යි.
භවත් ආනන්දයෙනි, යම් පැරණි දුබල සිවුරු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා ඇතිරිලි කරන්නෙමු’යි.
භවත් ආනන්දයෙනි, යම් පැරණි ඇතිරිලි වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා බිසිඋර (බිසිවලට දමන උර) කරන්නෙමු’යි.
භවත් ආනන්දයෙනි, යම් පැරණි බිසිඋර වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ, ඒවා බුමුතුරුණු කරන්නෙමු’යි.
භවත් ආනන්දයෙනි, යම් පැරණි බුමුතුරුණු වෙත් ද ඒවා කෙසේ කරන්නහු දැ’යි.
මහරජ ඒවා පාපිසි කරන්නෙමු’යි.
භවත් ආනන්දයෙනි, යම් පැරණි පාපිසි වෙත් ද, ඒවා කෙසේ කරන්නහු දැ’යි.