12.
සත්තසතිකක්ඛන්ධකය
පළමු බණවර
1. එකල්හි භාග්යවතුන් වහන්සේ පිරිනිවී සියක් අවුරුදු ගත වූ කල්හි විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූහු විශාලා නුවර දශවස්තුවක් ප්රකාශ කෙරෙත්. එනම් සිඞ්ගිලොණකප්පය (අඟෙහි තබා ගත් ලුණු යාවකාලික වස්තු සමග වැළඳීම) කැප ය, ද්වංගුලකප්පය (ඉර හැරුණු පසු ඡායාව දෑඟුල් ඉක්මෙන තෙක් දන් වැළඳීම) කැප ය, ගාමන්තර කප්පය (වළඳා පැවැරූ භික්ෂූව විසින් අන් ගමකට යමැ යි අනතිරික්ත භෝජනය වැළඳීම) කැප ය, ආවාසකප්ප ය (එක් සීමාවක් ඇතුළත නොයෙක් ආවාසයන්හි වෙන වෙන ම පොහෝ පවුරුණු කිරීම) කැප ය, අනුමතිකප්පය (අත්පසට නො පැමිණ සීමාව ඇතුළත සිටි භික්ෂූන්ගේ ඡන්දය පසුව ගන්නෙමුයි කියා පොහෝ පවුරුණු ආදිය කිරීම) කැප ය, ආචිණ්ණකප්පය (ආචාර්ය්ය උපාධ්යායයන් විසින් පුරුදු කරන ලද සියල්ල එසේ කිරීම) කැප ය, අමථීතකප්පය (භෝජන පවාරණය කොට නො කළඹන ලද දී වැළඳීම) කැප ය, නො පැසුණු සුරා පානය කැප ය, දාවලු නැති නිසීදනය කැප ය, රන්රිදී කැප ය යන මොහුයි.
2. එසමයෙහි කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ වජ්ජි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නාහු විශාලා නුවර යම් තැනෙක ද එහි පැමිණියාහ. එහි කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වෙසෙති. එකල්හි විශාලා නුවර වැසි වප්ජිපුත්රක භික්ෂූහු ඒ පොහෝ දිනයෙහි රන්බඳුනක් ජලයෙන් පුරවා භික්ෂුසඞ්ඝයා මැද තබා එහි පැමිණි පැමිණි විශාලා නුවර වැසි උපාසකයන්ට මෙසේ කියත්: “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩකහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ දෙවු. සඞ්ඝයාට පිරිකරින් කටයුතු ඇතැ”යි. මෙසේ කී කල්හි කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි උපාසකයන්ට මෙය කීහ. “ඇවැත්නි, සඞ්ඝයාට කහවණුවක් හෝ අඩ කහවණුවක් හෝ කහවණු පාදයක් හෝ රන්මස්සක් හෝ නො දෙවු. ශ්රමණ ශාක්යපුත්රයන්ට රන් රිදී කැප නො වේ. ශ්රමණ ශාක්යපුත්රයෝ රන්රිදී නො ඉවසත්. ශ්රමණ ශාක්යපුත්රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්රමණ ශාක්යපුත්රයෝ බහා තැබූ මිණි හා රන් ඇත්තාහු ය. රන්රිදීයෙන් වෙන් වූවාහු ය යි”.
කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විසින් මෙසේ ද කියනු ලබන්නා වූ විශාලා වැසි උපාසකයෝ සඞ්ඝයාට කහවණු ද අඩකහවණු ද කහවණු පාද ද රන්මසු ද දුන්නාහු ම ය. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූහු ඒ රාත්රිය ඇවෑමෙන් ඒ රන් භික්ෂා වශයෙන් කොටස් තබා බෙදූහ.
3. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූහු කාකණ්ඩකපුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙය කීහු: “ඇවැත් යස ස්ථවිරයෙනි, තෙල තොපගේ රන් කොටස යැ”යි. ඇවැත්නි, මගේ රන් කොටසෙක් නැත. මම රන් නො ඉවසමි යි.
ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූහු, “ඇවැත්නි, කාකණ්ඩක පුත්ර වූ මේ යස (ස්ථවිර) තෙම සැදැහැති, පැහැදුණු, උපාසකයන්ට ආක්රෝශ කරයි, පිරිහෙළා බෙණෙයි, නො පැහැදීම ඇති කරයි. එහෙයින් අපි මොහුට පටිසාරණීය කර්මය කරම්හ”යි කියා ඔව්හු උන්වහන්සේට පටිසාරණීය කර්මය කළහ. ඉක්බිති කාකණ්ඩකපුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, පටිසාරණීය කර්මය කරනලද භික්ෂූවට අනුදුතයෙක් දිය යුත්තේ යැ යි භාග්යවතුන් වහන්සේ විසින් පනවනලද්දේ ය, ඇවැත්නි මට අනුදුත වූ භික්ෂූවක් දෙව යි. ඉක්බිති විශාලා වැසි වජ්ජිපුත්රක භික්ෂූහු එක් භික්ෂූවක් සම්මත කොට කාකණ්ඩකපුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන්ට අනුදූතයකු කොට දුන්හ.
4. ඉක්බිති කාකණ්ඩකපුත්ර වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේ අනුදුත භික්ෂුව සමග වේසාලියට පිවිස විශාලා නුවර වැසි උපාසකයන්ට මෙය කීහ. “යම්බඳු වූ මම අධර්මය අධර්ම යැ යි කියම් ද, ධර්මය ධර්ම යැයි කියම් ද අවිනය අවිනයැ යි කියම් ද විනය විනයැ යි කියම් ද ඒ මම සැදැහැති පැහැදුණු ආයුෂ්මත් උපාසකයන්ට ආක්රෝශ කෙරෙම් ල පිරිහෙළා බෙණෙම් ල, නො පැහැදීම ඇති කෙරෙම් ල.
ඇවැත්නි, එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වෙසෙන සේක. ඇවැත්නි, එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් උපක්ලෙශයන්ගෙන් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද පැහැ නො විහිදුවත් ද නො බබළත් ද සඳ හිරු දෙදෙනාට එබඳු උපක්ලේශයෝ සතරෙක් වෙත්. කවර සතරෙක් ද යත්; මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද වලාකුළ සඳහිරු දෙදෙනාට (එබඳු) උපක්ලෙශයෙකි, මහණෙනි,....මීදුම සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි. මහණෙනි,... දුම්රජස (දුම් හා දූවිලි) සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, ... රාහු අසුරිඳු සඳහිරු දෙදෙනාට එබඳු උපක්ලෙශයෙකි, මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ සඳහිරු දෙදෙනා නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද මේ සතර සඳහිරු දෙදෙනාට උපක්ලේශයෙන් වෙත්.
මහණෙනි, මෙපරිද්දෙන් ම යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත් වූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද නො බබළත් ද, ශ්රමණ බ්රාහ්මණයන්ට එබඳු මේ උපක්ලේශ සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, ඇතැම් ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් සුරා බොති. මේරය බොති. සුරාමේරය පානයෙන් නො වැළකුණාහු වෙත්. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කෙලෙසීමට පත්වූ ඇතැම් ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් නො දිලෙත් ද, පැහැ නො විහිදුවත් ද, නො බබළත් ද, ශ්රමණ ද බ්රාහ්මණයන්ට මේ පළමු උපක්ලේශ යයි. මහණෙනි, වැළි දු (අනිකක් කියමි.)... ඇතැම් ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් මෙවුන්දම් සේවනය කෙරෙත්. මෙවුන් දමින් නො වැළකුණාහු වෙත්. මහණෙනි, ශ්රමණ බ්රාහ්මණයන්ට මේ දෙවැනි උපක්ලේශය යි.