11.
පඤ්චසතිකක්ඛන්ධකය
සංගීති නිදානය
1. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් ඇති මහත් භික්ෂූ සඞ්ඝයා සමග පාවා නුවරින් කුසිනාරා නුවර කරා දීර්ඝ මාර්ගයට පිළිපන්නෙමි. ඇවැත්නි, ඉක්බිති මම මඟින් ඉවත් ව එක්තරා රුක් මුලෙක හුන්නෙමි. එසමයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දීර්ඝ මාර්ගයට පිළිපන්නේ ය. ඇවැත්නි, මම එන්නා වූ ඒ ආජීවකයා දුරදී ම දුටිමි. දැක ඒ ආජීවකයාට මෙය කීමි. ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි දැ යි. එසේ ය. ඇවැත්නි, දනිමි. ශ්රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි. මා විසින් මේ මඳාරාමල එතැනින් ගන්නා ලදැ යි.
2. ඇවැත්නි, එහි යම් ඒ භික්ෂූ කෙනෙක් අවීතරාග වූහු ද ඔවුනතුරෙන් ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පැසේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑසේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වී යැ”යි (කියමින්) හිසෙහි අත් බැඳ හඬත්. සිඳින ලද්දක් (බිම) වැටෙන්නා සේ වැටෙත්, ඉදිරියට පෙරළෙත්, පසු පසට පෙරළෙත්, යම් භික්ෂූ කෙනෙක් වීතරාග වූහු ද ඔවුහු සංස්කාරයෝ අනිත්යයහ. ඔවුන්ගේ නො බිඳ පැවැත්මක් කොයින් ලැබියහැකි දැ’යි (සලකා) සිහි ඇත්තාහු මනා නුවණින් යුක්ත වූවාහු ඉවසත්, ඇවැත්නි, අනතුරු ව මම ඒ භික්ෂූන්ට මෙය කීමි. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, ඇවැත්නි, ප්රිය වූ මනාප වූ සියල්ලෙන් ම වෙනස් වීම වෙන් වීම, අනිත් ආකාරයෙකින් වීම වන්නේ ය යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් කැල ම ප්රකාශකරන ලද්දේ නො වේ ද? ඇවැත්නි, ඒ යමක් උපන්නේ ද, හටගත්තේ ද සඞ්ඛත වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේව’යි යන මේ කරුණ කොයින් ලැබේ ද? මේ කරුණ විද්යමාන නො වේ යි.
3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්ෂුන්ට මෙය කී ය. “ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු, නො වැළපෙවු, අපි ඒ මහාශ්රමණයාගෙන් මොනොවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු”යි
එහෙයින් ඇවැත්නි, අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්මය ද විනය ද සඞ්ගායනා කරම්හ’යි. (මහාකාශ්යප තෙරුන් වහන්සේ වදාළහ.)
වහන්ස, එසේ නම් තෙරුන් (ඔබ) වහන්සේ භික්ෂූන් තෝරා ගන්නාසේක්වා’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ එක් නමක් උනු වූ පන්සියයක් රහතුන් වහන්සේ තෝරාගත්සේක. භික්ෂූහු ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “වහන්ස, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ශෛක්ෂ්ය වුවත් ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයින් අගතියට යෑමට නො සුදුසු ය. මුන් වහන්සේ විසින් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද විනය ද උගන්නා ලද්දේ ය. වහන්ස, එහෙයින් (ඔබ) තෙරුන් වහන්සේ ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද තෝරාගන්නා සේක්වා’යි.
4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද තෝරාගත්හ. ඉක්බිති “අපි කොතැන්හි දී ධර්මය ද විනය ද සඞ්ගායනා කරමෝ දැ යි ස්ථවිර භික්ෂූන්ට මේ අදහස විය. “රජගහනුවර වනාහි මහා ගොදුරුගම් ඇත්තේ ය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කරන්නෙමු නම් ඉතා මැනව. අනිත් භික්ෂූ කෙනෙක් රජගහ නුවර වස් නො එළඹෙන්නාහු නම් යෙහෙකැ’යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට (මෙසේ දැන්වූහ.) “ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්ෂූන් සම්මත කරන්නේ ය. අනිත් භික්ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු’ය. මේ ඥප්ති යි.
ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා මේ පන්සියයක් භික්ෂූන් සම්මත කරයි. අනිත් භික්ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. යම් ආයුෂ්මත් කෙනකුහට ‘අනිත් භික්ෂූන් විසින් රජගහ නුවර වස් නො විසියයුතු ය. මේ පන්සියයක් භික්ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද, සඞ්ගායනා කිරීමට සම්මත කිරීම’ රුචි වේ නම් උන් වහන්සේ නිහඬ වන්නාහ. යම් කෙනකුට රුචි නො වේ නම් උන් වහන්සේ කියන්නාහ.
මේ පන්සියයක් භික්ෂූන් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සඞ්ගායනා කිරීමට සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දේ ය. අනිත් භික්ෂූන් රජගහ නුවර වස් නො විසියයුතු ය. (මෙය) සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.