ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව
9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීහ. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන කාලයෙහි මට මෙසේ වදාළසේක. ආනන්‍දය, සඞ්ඝයා කැමැති වන්නේ නම් මා ඇවෑමෙන් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නේ ය යි. ඇවත ආනන්‍දය, “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරේ දැ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසුහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ’යි නො පිළිවිසීමි යි.
ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා සෙස්සෝ බුදානුබුදාදක ශික්‍ෂයාපද වෙතැ’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පචිති තබා සිවු පාටිදේසනීය තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ යි.
10. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයාට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැපය. මෙය අකැප ය යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් “ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන්වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම් හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවන්නේ ය. පනවනලද්ද නොසිඳින්නේ ය. පනවන ලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවත්නේ ය. මේ ඥප්ති යි.
ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැප ය, මෙය අකැප ය, යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන් වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස‍්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම්හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. යම් ආයුෂ්මත් කෙනකුහට නො පනවනලද්ද නො පැනවීම, පනවනලද්ද නො සිඳීම, පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පැවැත්ම, රුචි වේ නම් උන්වහන්සේ නිහඬවන්නාහ, යම් කෙනකුහට රුචි නො වේ නම් උන්වහන්සේ කියන්නාහ.
සඞ්ඝයා නො පනවනලද්ද නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. සඞ්ඝයාට (මෙය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි යි.
11. ඉක්බිති ස්ථවිර භික්‍ෂුහු ආනන්‍ද ආයුෂ්මත්හට මෙය කීහු : ඇවැත් ආනන්‍දයෙනි, යම්හෙයෙකින් තෙපි ‘වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂා පද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළහු ද මෙය තොප වරදවා කරන ලද්දකි, ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරවයි.
වහන්ස, මම නොසිහියෙන් (යුතු වූයෙම්) වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළෙමි. මම එය වරදවා කරනලද්දකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලද යි ප්‍රකාශ කරමි.
ඇවැත්, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසුවහු ද මෙය ද තොප වරදවා කරන ලද්දකි. ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරව යි.
වහන්ස, මම අගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන නො මැසූයෙමි. මම එය වරදවා කරන ලද්දකැයි නොදකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලදැ යි ප්‍රකාශ කරමි.
ඇවැත් ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තෙපි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවුහු ද හඬන්නා වූ ඔවුන්ගේ කඳුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගැල්විණි ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.