6. ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීයකර්මය
1. එ සමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ කොසොඹෑ නුවර නිසා ඝෝෂිතාරාමයෙහි වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු “ආයුෂ්මත් ඡන්න තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කෙසේ නම් නො කැමැත්තේ දැ”යි ලාමක කොට කියත්, නොගුණ පවසත්, නොගුණ පතුරවත්.
2. ඉක්බිත්තෙන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. එ කල්හි භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙහි මේ ප්රස්තාවයෙහි බික්සඟන රැස් කරවා “මහණෙනි, සැබෑ ද? ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ දැ?” යි පුළුවුත් සේක. “සැබැව වහන්සැ”යි භික්ෂූහු කීහ.
3. භාග්යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක: “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරිස් තෙම ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට කැමැති නො වේ ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ යැ”යි ගරහා දැහැමි කතා කොට භික්ෂූන් බණවා මෙසේ වදාළ සේක:
4. මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සමාන සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු: “පළමු කොට ඡන්න මහණ තෙම චුදිත කළ යුතු. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු. සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ ය. සඞ්ඝ තෙම ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නො කිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි: සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ ඡන්න මහණ ඇවැත් ඇවැද ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වෙයි. සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කෙරෙයි. ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියේ නම්, හේ කියාවා.
සඞ්ඝයා විසින් ඡන්න මහණහට ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
මහණෙනි, “ඡන්න මහණ තෙම ඇවැතට පිළියම් නොකිරීමෙහි සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උකෙව්නිකම් කරණ ලදැ” යි ආවාසපරම්පරාවට ද (ආවාසයක් පාසා) දන්වවු”යී වදාළ සේක.
අධර්මකර්ම දොළොස
1. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්ෂේපණීය කර්මය අඞ්ග තුණෙකින් සමන්විත වූයේ අධර්මකර්ම ද අවිනයකර්ම ද දුරුපශාන්ත ද වෙයි: නොහමුයෙහි කරණ ලදුයේ වේ ද, නොපිළිවිස කරණ ලදුයේ වේ ද, නොපිළිණෙන් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්ෂේපණීය කර්මය අධර්මකර්ම ද අවිනයකර්ම ද දුරුපශාන්ත ද වෙයි.
2. මහණෙනි, ඇවැතට පිළියම් නොකිරීමෙහි උත්ක්ෂේපණීයකර්මය අන් තෙඅඟකින් ද සමන්විත වූයේ අධමකර්ම ද අවිනයකර්ම ද දුරුපශාන්ත ද වෙයි. නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී නො වන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසන ලද ඇවැතෙහි කරණ ලදුයේ වේ ද ...