1.
කම්මක්ඛන‍්‍ධකය
1. තර්‍ජනීයකර්‍මය
1. එ සමයෙහි භගවත් බුදුරජුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි වනාහි පණ්ඩුකය ලෝහිතකය යන දෙ මහණහු, තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විරුද්ධ වාද කරන්නෝ වාක්කලහ කරන්නෝ සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ කලහ කරණ විරුද්ධ වාද කරණ වාක්කලහ ඇති කරණ සඟමැද අධිකරණ උපදවන වෙනත් යම් භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් කරා එළඹැ මෙසේ කියත්: “ආයුෂ්මත්වරුනි, මේ මහණ තෙම තොප නො පරදවාවා. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු” යනු යි. එයින් නූපන් කලහ ද උපදී. උපන් කලහ ද බොහෝ වීම පිණිස විපුලබව පිණිස පවතී. යම් මහණ කෙනෙක් තුමූ අපිස් ගුණැත්තෝ ද, ලද දැයින් සතුටු වන්නේ ද, පවෙහි ලජ්ජා ඇත්තෝ ද, කැප නොකැප පිළිබඳ විමැසිලි ඇත්තෝ ද, හික්මෙනු කැමැත්තෝ ද, ඔහු අවඥා කෙරෙත්, දොස් නගත්, නුගුණ පතුරුවා බෙණෙත්: “කෙසේ නම් පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විවාද කරන්නෝ, වාක් කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණහු වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්වරුනි, මේ මහණෙතම තොප නො පරදවාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද, එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ බොහෝ වීම පිණිසත් මහත් වීම පිණිසත් පවතී” යනු යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. එකල්හි භගවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණෙනි පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නෝ, කලහ කරන්නෝ, විවාද කරන්නෝ, වාක්කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා පැමිණ, “ආයුෂ්මත්වරුනි, මෙ තෙමේ තොප නො දිනාවා. තෙපි ඔහුට වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු”යි මෙසේ කියත් ද? එයින් නො උපන් කලහ උපදී. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී යනු සැබෑ දැ?” යි. මෙසේ භික්‍ෂූන් පුළුවුත්හ. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි (ඒ මහණහු කීහ.) “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නුසුදුසු ක්‍රියාවෙක. සස්නට අනුලොම් නොවූයෙක. අයෝග්‍ය ක්‍රියාවෙක. මහණුනට නුසුදුසු එකෙක. නොකැපයෙක. නො කළ මනාවෙක. මහණෙනි, කෙස් නම් ඒ හිස් පුරුෂයෝ තුමූ ඩබර කරන්නෝ ... සඟමැද අධිකරණ උපදවන්නෝ, කලහ කරණ ... සඟමැද අධිකරණ උපදවන යම් අන් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, මෙ තෙම තොප නො දිනාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද? එයින් නො උපන් කලහ උපදි. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී. මහණෙනි, මේ කාරණය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනු ඇතැමුන්ගේ වෙනස්බව පිණිස ද පවතී” යි භගවත් බුදුහු ගැරැහූහ.
3. ඉක්බිති භගවත්හු ඒ මහණුන් නොයෙක් කරුණින් ගරහා, දුර්‍භරතාවගේ ද දුෂ්පෝෂතාවගේ ද මහේච්ඡතාවගේ ද අසන්තුෂ්ටතාවගේ ද ගණසඞ්ගණිකාවගේ ද කුසීතභාවයාගේ ද දොස් වදාරා, නොයෙක් කරුණින් සුභරතාවගේ ද සුපෝෂතාවගේ ද අල්පෙච්ඡතාවගේ ද සන්තුෂ්ටතාවගේ ද සංලේඛයාගේ ද ධුතගුණයාගේ ද ප්‍රසාද එළවන සාරූප්‍යයාගේ ද ක්ලේශාපචයයාගේ (කෙලෙස් බැහැර ලීමේ) ද වීර්‍ය්‍යාරම්භයාගේ ද අනුසස් වදාරා, මහණුනට ඒ කාරණයට සුදුසු වූ ඒ කාරණයට අනුලොම් වූ ධර්‍මකථාවක් කොට, මහණුන් අමතා මෙසේ වදාළ සේක: ‘මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ (ඇසුරු කරන්නවුන් සහිත) පණ්ඩුක ලෝහිතක යන දෙ මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරේවා. මහණෙනි, එය කටයුත්තේ මෙසේ ය: පළමු කොට පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු චෝදයිතව්‍යයහ (ඒ මහණුනට චෝදනා කට යුතු ය). චෝදනා කොට ස්මාරයිතව්‍යයහ (වරද සිහි කැරැවිය යුතු ය). සිහි කරවා ඇවැත නැංවිය යුතු ය. ඇවැත නංවා, වියත් සමත් මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියයුත්තේ ය: