7. පවිටුදෘෂ්ටිය නොදුරැලීමේ උක්ඛේපනීය කර්මය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල වනාහි පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන්නා වූ අරිට්ඨ භික්ෂුහට “යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලද්දාහු ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වෙයි.
2. පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂුහට “යම් ධර්ම කෙනෙක් අන්තරායකරහ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද හු ද, ඒ ධර්ම සෙවුනාහට ස්වර්ගමෝක්ෂ අන්තරාය පිණිස ප්රමාණවත් නොවෙති යි. සිතිය හැකි සේ භාග්යවතුන් වහන්සේ විසින් දෙසූ දහමක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන්නේ වේ යැ යි මෙ පවත් බොහෝ භික්ෂූහු ඇසූහ.
3. ඉක්බිති ඒ භික්ෂූහු පෙර ගිජුළිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂු කරා එළැඹියහ. එළැඹ එගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුහට මෙසේ කීහු:
“ඇවැත්නි අරිට්ඨයෙනි, යම් ඒ ධර්ම කෙනෙක් සගමොක් දෙකට අන්තරායකරහ යි භාග්යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට එසේ ස්වර්ගමෝක්ෂ අන්තරාය පිණිස ප්රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි. මෙබඳු ලාමක දෘෂ්ටියක් ඔබට උපන්නේ ලු. ඒ සැබෑදැ?” යි.
“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්මයෝ යම්සේ දෙසන ලදහු ද, ඒ ධර්ම සේවනය කරන්නහුට සගමොක් දෙකට අන්තරාය පිණිස ප්රමාණ නොවෙත් යැ යි මෙසේ සිතිය හැකිසේ භාග්යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මයක් මම දනිමි” යි හේ කීය.
4. “ඇවැත් අරිට්ඨයෙනි, එසේ නො කියව. භාග්යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො කරව, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් දෝෂාරෝපණය නො මැනවි. භාග්යවතුන් වහන්සේ මෙසේ නො වදාරණ සේක් ම ය. ඇවැත් අරිට්ඨයෙනි, අන්තරායකර ධර්මයෝ නොයෙක් ආකාරයෙන් අන්තරායකරහ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. ඒ ධර්ම සේවනය කරන්නාට (සගමොක්) අවුරණු පිණිස සමත් ම ය.
“කාමයෝ අල්ප වූ ආශ්වාද ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි උවදුරු බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ (තාවකාලිකව) ඉල්ලා ගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.