5. ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑ නුවර (සමීපයෙහි) ඝෝසිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ඡන්න තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකිනු නොකැමැති වෙයි. යම් ඒ භික්ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද,... ඒ භික්ෂුහු ලාමක කොට සිතත්. දොස් පවසත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්ෂූහු මේ කාරණය භාග්යවතුන් වහන්සේට සැළ කළාහු ය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්රාප්තාවසරයෙහි භික්ෂුසංඝයා රැස් කරවා භික්ෂූන් විචාළ සේක: “මහණෙනි, ඡන්න භික්ෂු තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකින්නට නො කැමැති වෙයි’ යනු සැබෑද?” “භාග්යවතුන් වහන්ස, සැබෑ ය.”
3. භාග්යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයා ඇවැතට පැමිණ ඇවත දකින්නට නො කැමැති වේ දැ” යි නින්දා කළ සේක. “මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ...” ගරහා දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක:
4. “එසේ නම් මහණෙනි, සංඝ තෙමේ ඡන්න භික්ෂුහට ඇවැත් නොදැක්මෙහි සඞ්ඝයා හා සම්භෝග නැති උක්ඛේපනීය කර්මය (ධර්මාමිෂ සම්භෝගයෙන් වෙන් කිරීමේ කර්මය) කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු යි: පළමු ව ඡන්න භික්ෂු තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට ඇවැත සිහිපත් කැරැවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්රතිබල වූ ව්යක්ත මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු යි:
5. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්ෂුහු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්නම් සඞ්ඝ තෙම ඡන්න භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂසම්භෝගය නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්ෂුහට සංඝයා සමග ධර්මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කරයි. යම් ආයුෂ්මතකුට ඡන්න භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්මය කිරීම රුචි නම් හෙ තෙම නිශ්ශබ්ද වන්නේය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
දෙවනුත් මේ කරුණ කියමි. … තෙවනුත් මේ කරුණ කියමි: ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දැකීමට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කරයි. ඡන්න භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම් හෙතෙම නිශ්ශබ්ද වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
සඞ්ඝයා විසින් ඡන්න භික්ෂුහට සඞ්ඝයා සමග ධර්මාමිෂ සම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කරණ ලදි. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මේ කරුණ මෙසේ දරමි.
6. ‘මහණෙනි, ඡන්න භික්ෂු තෙම සංඝයා සමග ධර්මාමිෂ සම්භෝග නොපවත්වන ලෙස ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්මය කරණ ලද්දේය’යි හැම ආවාසයෙහි ආරෝචනය කරවු.