4. පටිසාරණීයකර්මය
1. එ සමයෙහි ආයුෂ්මත් සුධර්ම නම් ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් ගැහැවිහුගේ ආවාසයෙහි වසන්නේ නවකම්හි යෙදුනේ නිති බත් ලබන්නේ වේ. යම් කලෙක චිත්ත ගැහැවි තෙම සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ පවරණු කැමැති වේ ද, එ කල්හි ආයුෂ්මත් සුධර්ම ස්ථවිරයන් නොවිචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. නො කැඳවයි (නො අමතයි).
2. එ සමයෙහි බොහෝ ස්ථවිර භික්ෂූහු (එ නම්) – ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද, ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද, ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද කසීරට සැරි සරන්නාහු මච්ජිකාසණ්ඩ නම් නුවරට පැමිණියහ.
3. චිත්ත ගෘහපති තෙමේ ‘ස්ථවිරභික්ෂූහු මච්ජිකසණ්ඩනගරයට පැමිණියාහු ලැ’ යි ඇසී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ස්ථවිර භික්ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඔවුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. කුශලධර්මයෙහි සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. (කුසල් දහම් වැඩීමෙහි) මනා ව සතුටු කළහ. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් විසින් දැහැමි කථාවෙන් දෙලෝ වැඩ දක්වන ලද්දේ, කුසල්දහම්හි සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ (උත්සාහී කරණ ලද්දේ), මනා ව සතුටු කරණු ලැබුයේ ස්ථවිර භික්ෂූනට මෙසේ සැළ කළේය: “ස්වාමීනි, ස්ථවිරවරුන් වහන්සේ හෙට දවසට මාගේ ආගන්තුක බත ඉවසන සේක්වා” යි. ස්ථවිරභික්ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවැසූහ.
4. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ස්ථවිර භික්ෂූන්ගේ ඉවැසීම දැන (අයැදුම පිළිගත් බව දැන) හුනස්නෙන් නැගිට ස්ථවිරභික්ෂූන් වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සුධර්ම තෙරුන් කරා එළඹ උන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චිත්ත ගැහැවි තෙම ආයුෂ්මත් සුධර්ම ස්ථවිරයන් අමතා, “ස්වාමීනි, සුධර්ම ආර්ය්යයන් වහන්සේ සෙට දවස මාගේ බත ස්ථවිරභික්ෂූන් සමග ඉවසන සේක් වා” යි කී ය.
5. ඉක්බිති ආයුෂ්මත් සුධර්ම ස්ථවිර තෙම “මේ චිත්ත ගෘහපතියා පෙර යම් දිනක සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නිමතනු කැමැත්තේ නම්, එ කල මා නො විචාරා සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයකු හෝ නො පවරයි. එහෙත් හෙතෙම දැන් මා නො විචාරා ස්ථවිර භික්ෂූන් පැවැරී ය. මේ චිත්ත ගහපති තෙම දැන් මා කෙරෙහි දූෂිත සිතැත්තේ වන, බලාපොරොත්තු නැත්තේ වන, මා කෙරෙහි කලකිරුණේ වනැ” යි සිතී ය. සිතා චිත්ත ගෘහපතිහට ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි කී ය. දෙවනුත් ... තෙවනුත් චිත්ත ගෘහපති තෙම සුධර්ම ස්ථවිරයනට “ස්වාමීනි, සුධර්ම ආර්ය්යයන් වහන්සේ හෙට දවස පිණිස මාගේ බත ස්ථවිර වරුන් වහන්සේ සමග ඉවසන සේක් වා” යි කී ය. ‘ගෘහපතිය, කම් නැත, නො ඉවසමි’ යි සුධර්ම තෙර කී ය. ඉක්බිති චිත්ත ගෘහපති තෙම ‘ආර්ය්ය සුධර්ම තෙමේ ඉවසන්නේ හෝ නොඉවසන්නේ හෝ මට කුමක් කරන්නේ දැ’ යි ආයුෂ්මත් සුධර්ම ස්ථවිරයන් වැඳ පැදැකුණු කොට නික්ම ගියේ ය.
6. ඉක්බිති චිත්ත ගෘහපති තෙමේ ඒ රාත්රිය ඇවෑමෙන් ස්ථවිර භික්ෂූන් සඳහා ප්රණීත වූ කෑ යුතු බුදිය යුතු ආහාරපාන පිළියෙල කරවූයේ ය. ඉක්බිති ආයුෂ්මත් සුධර්ම තෙම ‘චිත්ත ගෘහපති විසින් ස්ථවිර භික්ෂූනට පිළියෙල කරණ ලද්ද දක්නෙම් නම් ඉතා යෙහෙකැ’යි පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ චිත්ත ගෘහපතියාගේ නිවෙස්න කරා පැමිණියේ ය. පැමිණ පැණවූ අස්නෙහි වැඩ හුන්නේ ය.