3. පබ්බාජනියකර්‍මය
[අස්සජිපුනබ්බසුකයන්ගේ අනාචාර]
1. එ සමයෙහි වූ කලි අස්සජි පුනබ්බසුක නම් වූ පවට පිළිකුල් නො කරණ ලාමක මහණහු කීටාගිරියෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙත්: තුමූ ද මල්පැල සිටුවත්, අනුන් ලවා ද සිටුවත්. තුමූ ද දිය ඉසිත්, අනුන් ලවා ද ඉස්වත්, තුමූ ද මල් නෙලත්, අනුන් ලවා ද මල් නෙලවත්. තුමූ ද මල්දම් ගොතත්, අනුන් ලවා ද මල්දම් ගොතවත්. එක් පසකට නටු සිටුනාසේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. දෙපසට නටු සිටුනා සේ මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. තුමූ ද මල්කැන් කරත්, අනුන් ලවා ද කරවත්. හිඳි ආදියෙකින් ඇවුනු මල්දම් (විධූතිකාවන්) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. මුදුන්මල් කඩ (අවතංසක) තුමූ ද කෙරෙත්, අනුන් ලවා ද කරවත්. කණැ පලඳනා මල්දම් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්. උර පලඳනාවන් තුමූ ද කරත්, අනුන් ලවා ද කරවත්.
2. ඔහු කුලස්ත්‍රිනට කුලදූනට, කුලකුමරියනට, කුලයෙහෙලියනට, කුලදැස්සනට ඒකතෝවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උභතොවණ්ටිකමාලාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මල්කැන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. විධුතිකාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. මුදුන්මල්කඩ තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. කණ පළඳනා තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්. උරපලඳනාවන් තුමූ ද ගෙණ යත්, අනුන් අත ද යවත්.
3. ඒ මහණහු කුලස්ත්‍රීන් හා කුලදූන් හා කුලකුමරියන් හා කුලවධූන් හා කුලදැස්සන් හා එක් බඳුනෙහි ද වළඳත්. එක් තලුතැටියෙහි ද බොත්. එක් අස්නෙහි ද හිඳිත්. එක් ඇඳෙහි ද එකට ශයනය කෙරෙත්. එක ඇතිරියක් ඇත්තාහු එකට නිදත්. එක් පොරෝනාවක් ඇත්තාහු ද එකට වැද හෙත්. එක් ඇතිරි එක් පොරෝනා ඇත්තාහු ද එකට වැදහෙත්. නොකල්හි ද බුදිත්. මද්‍යාපානය ද කරත්. මල් ගඳ විලෙවුන් ද දරත්. –
නැටීම ද කරත්. ගැයීම ද කරත්. වැයීම ද කරත්. විලාස දක්වත්. නටන්නියට ද නටත්. නටන්නියට ද ගයත්. නටන්නියට ද වයත්. නටන්නියට ද විලාස දක්වත්. ගයන්නියට ද නටත්. ගයන්නියට ද ගයත්. ගයන්නියට ද වයත්. ගයන්නියට ද විලාස දක්වත්. වයන්නියට ද නටත්. වයන්නියට ද ගයත්. වයන්නියට ද වයත්. වයන්නියට ද විලාස දක්වත්. විලාස දක්වන්නියට ද නටත්. විලාස දක්වන්නියට ද ගයත්. විලාස දක්වන්නියට ද වයත්. විලාස දක්වන්නියට ද විලාස දක්වත්.–
අටගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. දසගප් දූ පෝරුවෙහි ද දූ කෙළිත්. අහසේ ද දූ පෝරුව ඇති සේ සලකා දූ කෙළිත්. කට්ටිපෙතෙහි ද ක්‍රීඩා කරත්. සන්තික ක්‍රීඩාව ද කරත්. ඛලිකාක්‍රීඩාව ද කරත්. ඝටිකාක්‍රීඩාව ද කරත්. සලාකා හත්‍ථ ක්‍රීඩාව ද කරත්. පන්දුවෙන් ද ක්‍රීඩා කෙරෙත්. කොළනලා පිඹීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා නඟුලින් හෑමේ ක්‍රීඩාව ද කරත්. කරනම් ගැසීම ද කෙරෙත්. හුලංපෙති කරකැවීමෙන් ද ක්‍රීඩා කරත්. කොළ නැළියෙන් වැලි ආදිය මැනීමෙන් ද ක්‍රීඩා කරත්. කුඩා රියෙන් ද ක්‍රීඩා කෙරෙත්. කුඩා දුන්නෙන් ද ක්‍රීඩා කරත්. අහසේ හෝ පිටේ අකුරු ඇඳ කියැවීමේ ක්‍රීඩාව ද කරත්. සිතූ දෑ කීමේ ක්‍රීඩාව ද කරත්. කණුන් කොරුන් ආදීන් සේ ඉරියවු දැක්වීමේ ක්‍රීඩාව ද කරත්. හස්තිශිල්පයෙහි ද හික්මෙත්. අශ්වශිල්පයෙහි ද හික්මෙත්. රථශිල්පයෙහි ද හික්මෙත්. ධනුශ්ශිල්පයෙහි ද හික්මෙත්. කඩුසිප්හි ද හික්මෙත්. ඇතුට පෙරටු ව ද දිවෙත්. අසුට පෙරටු ව ද දිවෙත්. රථයට පෙරටු ව ද දිවෙත්. දිවූ තාක් දුර පෙරළා ද දිව එත්. උස් හඬ නඟත්. අත්පොළසන් දෙත්. මල්ලපොර බදත්. මිටින් පහර දීම ද කරත්. රඟමඩල මැද සඟළ සිවුර එළා “නැඟණියනි, මෙහි නටන්නැ”යි කියත්. ‘මැනව, මැනැවැ’යි කියා සිය නළලෙහි ඇඟිල්ලක් තබා ඇය නළලෙහි ද ඇඟිල්ල තබත්. විවිධ වූ ද නොපණත් කම් කෙරෙත්.
4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කාසි ජනපදයෙහි වස්වැස පැවැරූයේ, භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර බලා යන්නේ, කීටාගිරියට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ (දක්නවුන්) පහදවන සේ යෑමෙන් ද, ඊමෙන් ද, ඉදිරි බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, දිගු කිරීමෙන් ද යුතුවැ යට බලා හෙළූ ඇස් ඇත්තේ, මනා ඉරියව්වෙන් පිරිපුන් වූයේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය.