2. නියස්සකර්මය
1. එ සමයෙහි ආයුෂ්මත් සෙය්යසක භික්ෂූ තෙමේ අව්යාක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සංසර්ගයෙන් යුක්ත ව වෙසෙයි. එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු කටයුත්තෙහි යෙදුනාහු වෙත්.
2. අපිස් ගුණ ඇති, ලද දෙයින් සතුටු වන සුලු, පවට පිළිකුල් කරණ කැප නො කැප පිළිබඳ විමැසීම කරවා (සැක කරණ) හික්මෙනු කැමැති යම් භික්ෂූහු වෙත් ද, ඒ භික්ෂූහු “කෙසේ නම් සෙය්යසක භික්ෂූ තෙමේ බාල වූයේ, අව්යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුණේ නොගැළපෙන්නා වූ ගිහිසංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වූහ” යි (සෙය්යසක මහණහුගේ ක්රියාව) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්ෂූහු මේ කරුණ භාග්යවතුන් වහන්සේට සැළ කළාහු ය.
3. එ කල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්ෂුසංඝයා රැස් කරවා, භික්ෂූන් විචාළ සේක:
“මහණෙනි, සෙය්යසක මහණ තෙමේ අව්යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ඉමක් නැති ඇවැත් ඇත්තේ, බාලයෙක් වේ ද? ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද? ‘එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තෝ වෙත්’ යනු සැබෑදැ?” යි (ඇසූ සේක). “භාග්යවතුන් වහන්ස, සැබෑ ය” යී ඔහු උත්තර දුන්හ.
4. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ නො සුදුසු ක්රියාවෙකි. ශාසනයට අනුලොම් නොවූ ක්රියාවෙකි. අයුත්තෙකි. ශ්රමණයනට අයත් නොවූයෙකි, කැප නොවූයෙකි, නොකළ යුත්තෙකි. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් බාල වූයේ, අව්යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුනේ, අනුලොම් නොවූ ගිහීසංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු, මුලට අදින්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු නිතර කටයුත්තෙහි යෙදුනාහු ද වෙත්.
5. “මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි. ... පහන් වූවන්ගේ ඒ පහන් බව වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි දු මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතී ය”යි භාග්යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ සෙය්යසක භික්ෂූහට “තා විසින් නිස ගෙණ ආචාර්ය්ය ආශ්රයයෙහි ම විසිය යුතුයැ” යි නියස්සකර්මය කෙරේවා. මහණෙනි, ඒ නියස්සකර්මය ද මෙසේ කළ යුතු යි: පළමු කොට සෙය්යසක මහණ තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට, ඇවැත සිහිපත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්යක්ත වූ ප්රතිබල මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය:
6. “වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ සෙය්යසක මහණ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම්, සංඝ තෙමේ සෙය්යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්ය්ය ආශ්රයයෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්මය කරන්නේ ය. මේ ඤත්ති යයි.
වහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ සෙය්යසක භික්ෂු තෙමේ අව්යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනය කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්යසක මහණහට “තා විසින් නිස ගෙණ ආචාර්ය්ය ආශ්රයයෙහි විසිය යුතු ය’ යි නියස්සකර්මය කෙරෙයි. සෙය්යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්ය්ය ආශ්රයයේ විසිය යුතුය’ යි නියස්සකර්මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවෙයි නම් හෙ තෙමේ කියාවා.
දෙවනු වත් මේ කරුණ කියමි ... තෙවනු වත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්යසක භික්ෂු තෙමේ අව්යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුලොම් නොවූ ගිහි සංසර්ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්යසක භික්ෂුහට ‘තා විසින් නිස ගෙණ ආචාර්ය්ය ආශ්රයයේ විසිය යුතු ය’ යි නියස්සකර්මය කෙරෙයි. සෙය්යසක භික්ෂුහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත වේ නම් හෙ තෙමේ කියාවා.
සංඝයා විසින් සෙය්යසක භික්ෂූහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණු මෙසේ ධරමී” යනු යි.