8. 1. 9.
අම්බපාලි සූත්රය
3619. එක් සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් විසල්පුර සමීපයෙහි වූ අම්බපාලිවෙනෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුවපැහැය පිරිසුදුය. හාත්පසින් බබළන්නේ ය. ආයුෂ්මත් අනුරුද්ධයෝ දැන් කවර විහරණයකින් යුතුව බහුල කොට වෙසෙද්දැ”යි?
ඇවැත්නි, මම දැන් සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා දැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම දැන් මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. ඇවැත්නි, ක්ෂය කළ ආස්රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්ථි ඇති මුළුමනින් ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත්මහණෙක් වේ නම් හෙතෙමේ මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව බහුල කොට වෙසේ යි. ඇවැත්නි, යම්බඳු අපි ආයුෂ්මත් අනුරුද්ධයන් සෙට වදන් බෙණෙද්දී ඉදිරියෙහි ම ඇසුමෝ ද ඇවැත්නි, ඒ අපට ලාභයෙකි. ඒ අපට මනා ලැබීමෙකි යි.
8. 1. 10.
ගිලාන සූත්රය
3620. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ හටගත් ආබාධ ඇතියෝ දුකට පැමිණියෝ දැඩිසේ ගිලන් වූවෝ සැවත සමීපයෙහි අඳවෙනෙහි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ: “කවර විහරණයකින් වෙසෙන ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ගේ හටගත් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිද්දැ”යි.
ඇවැත්නි, සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ උපන් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ හටගත් ශාරීරික දුක් වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිති යි.
පළමුවැනි රහෝගතවර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
රහෝගත නමින් ම දෙකෙකි. සුතනු නමින් එකෙකි. කණ්ටකී නමින් තුනෙකි. තණ්හාක්ඛය, සලලාගාර, අම්බපාලි ගිලාන යි සතරෙකි යි. මුළුල්ල දශයෙකි යි.