8. 1. 10.
ගිලාන සූත්‍රය
3620. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ හටගත් ආබාධ ඇතියෝ දුකට පැමිණියෝ දැඩිසේ ගිලන් වූවෝ සැවත සමීපයෙහි අඳවෙනෙහි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ: “කවර විහරණයකින් වෙසෙන ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ගේ හටගත් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිද්දැ”යි.
ඇවැත්නි, සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ උපන් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ හටගත් ශාරීරික දුක් වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිති යි.
පළමුවැනි රහෝගතවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
රහෝගත නමින් ම දෙකෙකි. සුතනු නමින් එකෙකි. කණ්ටකී නමින් තුනෙකි. තණ්හාක්ඛය, සලලාගාර, අම්බපාලි ගිලාන යි සතරෙකි යි. මුළුල්ල දශයෙකි යි.
2. සහස්ස වර්‍ගය
8. 2. 1.
සහස්ස සූත්‍රය
3621. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. ... ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ කවර දහම් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ”යි. ඇවැත්නි, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම කප් දහසක් සිහි කෙරෙමි යි.
8. 2. 2.
ඉද්ධිවිධ සූත්‍රය
3622. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් ඉදු කොටස් විඳිමි. “එකෙක් ව ද බොහෝ අයුරු වෙමි. බොහෝ අයුරු ව ද එකෙක් වෙමි. පළට බව මුවහ බව විඳිමි. බිතෙන් පිටට පව්රෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නොගැටෙමින් යෙමි. දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කෙරෙමි. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහිත් යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහිත් පළඟින් යුතු ව ගමන් කෙරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහසමි. පිරිමදිමි. බඹලොව තෙක්දු කයින් වෙසෙහි පවත්වමි” යි.
8. 2. 3.
දිබ්බසෝත සූත්‍රය
3623. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිස්බැව් ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුර වූ ද ලඟ වූ ද දෙව් මිනිස් දෙ සද අසමි යි.