8. 1. 8.
සලලාගාර සූත්රය
3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනසමූහයා එන්නේ ය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජනසමූහයා ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වෙයි. එය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නට සුකර නො වෙයි. හුදෙක් ඒ මහාජනසමූහයා වෙහෙසට විඩාවට බඳුන් වන්නේ යි.
ඇවැත්නි, එසෙයින් ම සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන මහණහු රජෙක් හෝ රජු සම වූවෙක් හෝ මිතුරු කෙනෙක් හෝ ඇමති කෙනෙක් හෝ නෑ සහලේනෑ නෙනෙක් හෝ “එම්බා පුරුෂය, කුමක් හෙයින් මේ කසාවත්හු තොපගේ (සිරුර) දවද්ද? කුමක් හෙයින් මුඩු ව කබලක් ගෙන හැසිරෙවු ද? එව ගිහි බවට පෙරළී භෝගත් වළඳ ව පිනුත් කරව”යි භෝගයන් එළවා පවරන්නාහු නම් ඇවැත්නි, සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන ඒ මහණ සික පිළිකෙවු කොට ගිහි බවට පෙරළෙන්නේය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: “ඇවැත්නි, යම් සිතක් දිගුකලක් මුළුල්ලෙහි නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ නම් එය එසේ ලාමක බවට පෙරළෙන්නේ ය” යන මෙකරුණ නැත.
ඇවැත්නි, කෙසේ නම් මහණ සිවු සීවටන් වඩා ද, සිවු සීවටන් බහුල කෙරේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙකි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මෙසේ මහණ සිවු සීවටන් වඩයි. සිවු සීවටන් බහුල කෙරේ යි.
8. 1. 9.
අම්බපාලි සූත්රය
3619. එක් සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් විසල්පුර සමීපයෙහි වූ අම්බපාලිවෙනෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුවපැහැය පිරිසුදුය. හාත්පසින් බබළන්නේ ය. ආයුෂ්මත් අනුරුද්ධයෝ දැන් කවර විහරණයකින් යුතුව බහුල කොට වෙසෙද්දැ”යි?