8. 1. 2.
දුතිය රහෝගත සූත්රය
3612. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙත්. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “යම් කෙනකුන්ට සිවු සීවටන්හු වැරදුණාහු ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට වැරදුණේ ය. යම් කිසි කෙනකුන්ට සිවු සීවටන්හු පිරිපුන් වෙද්ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට පිරිපුන් වේ යි”. එකල ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ගේ චිත්තවිතර්කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, මහණහුගේ සිවු සීවටන්හු කෙතෙකින් පිරිපුන් වෙද්දැ”යි.
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සියකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්යාත ලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමාකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියමෙරමාකයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියවිඳුම්හි ... මෙරමාවිඳුම්හි ... සිය මෙරමාවිඳුම්හි ... සියසිත්හි ... මෙරමාසිත්හි ... සියමෙරමාසිත්හි ... සියදහම්හි ... මෙරමාදහම්හි ... සියමෙරමාදහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවුසීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.
8. 1. 3.
සුතනු සූත්රය
3613. එක්සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ට මෙය කීහ: “කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ මහාභිඥ බවට පැමිණියාහු දැ”යි.
ඇවැත්නි, මම සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව් හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම හීනදහම් හීන විසින් දතිමි, මැදුම්දහම් මැදුම් විසින් දතිමි, ප්රණීතදහම් ප්රණීත විසින් දතිමි යි.