8. 1. 3.
සුතනු සූත්රය
3613. එක්සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ට මෙය කීහ: “කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ මහාභිඥ බවට පැමිණියාහු දැ”යි.
ඇවැත්නි, මම සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව් හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම හීනදහම් හීන විසින් දතිමි, මැදුම්දහම් මැදුම් විසින් දතිමි, ප්රණීතදහම් ප්රණීත විසින් දතිමි යි.
8. 1. 4.
කණ්ටකී සූත්රය
3614. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකීවෙනෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, සේඛමහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතුදැ”යි.
ඇවැත්නි ශාරිපුත්රයෙනි, සේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවුසීවටන්හු ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි ශාරිපුත්රයෙනි, සේඛමහණ විසින් මේ සිවුසීවටන් උපයා ගෙන විසිය යුතු යි.
8. 1. 5.
දුතිය කණ්ටකී සූත්රය
3615. ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ (රහත්) මහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතු දැයි? ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවු සීවටන්හුද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතු යි.