7. 3. 9.
සම්බහුලභික්ඛු සූත්රය
3151. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 10.
දුතියසම්බහුලභික්ඛු සූත්රය
3152. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, ඉදු කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නන්වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ ඉදු යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා කවරේ ද යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී ද, මහණෙනි, මේ ඉදුපා යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරීඅටඟිමගමැ යි. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
7. 3. 11.
මොග්ගල්ලාන සූත්රය
3153. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය ඉතා සැඟවුණේ නො ද වන්නේය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ ය. මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය.