7. 3. 1.
මග්ග සූත්‍රය
3143. සැවැත්නුවර:
මහණෙනි, සම්බෝධියෙන් පළමු ම බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුමට මඟ කවරේ ද, පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නොද වන්නේ ය.
“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල් යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි. පච්ඡාපුරේසඤ්ඤා ඇත්තේ ද වෙසෙයි.
මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
(ෂඩභිඥා විතර කටයුතු.)
7. 3. 2.
අයොගුළ සූත්‍රය
3144. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්‍ද, මම ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්‍ද, මම මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹියේක් දතිමි යි. වහන්ස, ඒ මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඇසිරියෙක්ද පුදුමයෙක්ද වේ යි.
ආනන්‍ද තථාගතයෝ අසිරි වූවාහුත් අසිරි දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, තථාගතයෝ පුදුම වූවාහුත් පුදුම දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, යම් සමයක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා බබළනසුලුත් වෙයි. ආනන්‍ද, දවසක් මුළුල්ලෙහි තැවුණු යවටෙක් යම්සේ ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ ද, ආනන්‍ද, එසෙයින් ම තථාගතතෙමේ යම් සමයක කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා ලඝුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ.
ආනන්‍ද, යම් කලෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එකල්හි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. ආනන්‍ද, යම්සේ හිඹුල්පුලුන් හෝ කපුපුලුන් හෝ සැහැල්ලු වූයේ වාතය විසින් ගන්නා ලද්දේ නිතැතින් ම පොළොවෙන් අහසට නඟි යි. ආනන්‍ද, එසෙයින් ම යම් සමයෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක්දු කයෙන් වසයෙහි පවත්වා යි.
7. 3. 3.
භික්ඛු සූත්‍රය
3145. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.