7. 1. 6.
සමත්ත සූත්‍රය
3128. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු මුළුල්ල නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 1. 7.
භික්ඛු සූත්‍රය
3129. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ... වෙසෙන්නාහු නම් ... වෙසෙත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
7. 1. 8.
අරහන්ත සූත්‍රය
3130. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මොහු සිවු ඉදුපා යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ය යි කියනු ලැබේ යි.