4. 6. 4.
පද සූත්රය
1738. මහණෙනි, යම්යේ යම්කිසි ජඞ්ගමප්රාණීන්ගේ පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. ඇත් පියවර මහත්බැවින් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්ද්රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන් ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, කවර දහම්පද අවබෝධ පිණිස පවතී ද යත්: මහණෙනි, සද්ධින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, ජඞ්ගමප්රාණීන්ගේ යම්කිසි පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. මහත් බැවින් ඇත්පියවර ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්ද්රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ යි.
4. 6. 5.
සාර සූත්රය
1739. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුනට අග්ර ය යි කියනු ලැබේ යි.
4. 6. 6.
පතිට්ඨිත සූත්රය
1740. සැවැත්නුවර:
මහණෙනි, එක්දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති. කවර එක් දහමෙක ද යත්: නොපමාවෙහි ය. මහණෙනි, නොපමාව කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ ආස්රව වූ ද සාස්රව වූ ද දහම් නිමිති කොට සිත රකී. ආස්රව වූ ද සාස්රව වූ ද දහම් නිමිති කොට සිත රක්නා ඔහුගේ සද්ධින්ද්රිය ද වැඩීමෙන් පිරීමට යේ. විරියින්ද්රිය ද ... සතින්ද්රිය ද ... සමාධින්ද්රිය ද ... පඤ්ඤින්ද්රිය ද වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ එක් දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති යි.
4. 6. 7.
බ්රහ්ම සූත්රය
1741. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙත භාග්යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල්නුගරුක් මුල්හි වැඩවසන සේක. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් භාග්යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති” යි.