4. 6. 5.
සාර සූත්‍රය
1739. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ යි.
4. 6. 6.
පතිට්ඨිත සූත්‍රය
1740. සැවැත්නුවර:
මහණෙනි, එක්දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති. කවර එක් දහමෙක ද යත්: නොපමාවෙහි ය. මහණෙනි, නොපමාව කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රකී. ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රක්නා ඔහුගේ සද්ධින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. විරියින්‍ද්‍රිය ද ... සතින්‍ද්‍රිය ද ... සමාධින්‍ද්‍රිය ද ... පඤ්ඤින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ එක් දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති යි.
4. 6. 7.
බ්‍රහ්ම සූත්‍රය
1741. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙත භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල්නුගරුක් මුල්හි වැඩවසන සේක. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති” යි.
එකල්හි සහම්පතී බ්‍රහ්ම තෙමේ සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළන්නේ හෝ වේ ද. එසෙයින් ම බඔලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද: සද්ධින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති.
වහන්ස, පෙර මම කසුප් සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර කෙළෙමි. එහි දු මා “සහක මහණ සහක මහණැ”යි මෙසේ දනිත්. වහන්ස, ඒ මම මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති බඹලොවට පැමිණියෙමි. එහි දු මා “සහම්පති බඹ, සහම්පති බඹැ”යි මෙසේ දනිත්. භාග්‍යවතුන් වහන්ස: එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු යම්සේ නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත් නම් මම මෙය දනිමි. මම මෙය දකිමි” යි.
4. 6. 8.
සූකරඛත සූත්‍රය
1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී දැ යි වහන්ස, අනුත්තර වූ අර්‍හත්‍වය දකිමින් රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී යි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, අනුත්තර වූ රහත් බව දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් ඒ අනුත්තර වූ රහත් බව කවරේ දැ යි වහන්ස, මෙහි රහත් මහණ සන්හිඳීමට යනසුලු කොට සම්බෝධියට යනසුලු කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය වඩයි.