4. 6. 3.
සේඛ සූත්‍රය
1737. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගනී නම් ඒ නය කවරේද යත්: මහණෙනි, මෙහි සේඛමහණතෙමේ මේ දුකැයි තතුසේ දනී. මේ දුක් හටගැනීමැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැයි තතුසේ දනී. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමියි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක්ද කියමි. සේඛ මහණ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. “යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදුවූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් පිටත ඇද්දෝ යි හෙතෙමේ මෙසේ දැනගනී: යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදු වූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් බැහැරනැතැ’යි. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සේඛ බිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක්ද කියමි: සේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයින් පැහැස නො ම වෙසේ ද. පස්විකුම් නුවණින් පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, මෙහි අසේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයිනුදු පැහැස වෙසේ ද. පස්විකුම් නුවණිනුදු පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අසේඛ මහණ තෙමේ චක්ඛුන්‍ද්‍රියය සෝතින්‍ද්‍රියය ඝානින්‍ද්‍රියය ජිව්හින්‍ද්‍රියය කායින්‍ද්‍රියය මනින්‍ද්‍රියය යන සඉඳුරන් දනී. මේ සඉඳුරෝ මුළුමනින් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. අන් සඉඳුරු කෙනෙක් කොහි වත් කොතැනෙක වත් නූපදනාහයි දනී. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි යි.
4. 6. 4.
පද සූත්‍රය
1738. මහණෙනි, යම්යේ යම්කිසි ජඞ්ගමප්‍රාණීන්ගේ පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. ඇත් පියවර මහත්බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන් ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, කවර දහම්පද අවබෝධ පිණිස පවතී ද යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, ජඞ්ගමප්‍රාණීන්ගේ යම්කිසි පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. මහත් බැවින් ඇත්පියවර ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.