4. 6. 2.
මල්ලක සූත්රය
1736. එක්කලෙක භාග්යවතුන් වහන්සේ මල්ලකදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලකයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අරීසවුහට යම්තාක් අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවු ඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවුඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ.
මහණෙනි, යම්සේ කුළුගෙහි කැණිමඩල යම් තාක් නොඔසවන ලද්දේ වේ නම් ඒ තාක් ගොනැසුන්ගේ නො ම පිඬුවී සිටීම වේ. ඒ තාක් ගොනැසුන්ගේ කුළෙහි පිවිස සිටීම නො ම වේ. මහණෙනි, යම් කලෙක කුළුගෙහි කැණිමඩල ඔසවන ලද්දේ වේ නම් එකල ගොනැසුන්ගේ පිඬු වී සිටීම වේ. එකල ගොනැසුන්ගේ පිවිස සිටීම වේ. මහණෙනි, එසෙයින්ම යම් තාක් අරීසවුහට අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවු ඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ. කවර සිවුඉඳුරන්ගේ ද යත්: සද්ධින්ද්රියයේත් විරියින්ද්රියයේත් සතින්ද්රියයේත් සමාධින්ද්රියයේත් ය. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ සිටී. ඒ අනුව යන වෙර සිටී. ඒ අනුව යන සිහිය සිටී. ඒ අනුව යන සමාධිය සිටී”යි.
4. 6. 3.
සේඛ සූත්රය
1737. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගනී නම් ඒ නය කවරේද යත්: මහණෙනි, මෙහි සේඛමහණතෙමේ මේ දුකැයි තතුසේ දනී. මේ දුක් හටගැනීමැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැයි තතුසේ දනී. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමියි දැනගනී නම් මෙ ද නයෙකි.
මහණෙනි, නැවත අනෙකක්ද කියමි. සේඛ මහණ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. “යමෙක් භාග්යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදුවූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් පිටත ඇද්දෝ යි හෙතෙමේ මෙසේ දැනගනී: යමෙක් භාග්යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදු වූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් බැහැරනැතැ’යි. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සේඛ බිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.