4. 5. 3.
සාකේත සූත්රය
1727. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සාකේතනුවර සමීපයෙහි මිගදාය නම් වූ අඳුන්වෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද? යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද? එබඳු නයෙක් ඇද්ද යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ගෙන ඇතියහ ...
මහණෙනි යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, ඒ නය කවරේ ද, යත්: මහණෙනි, යමෙක් සද්ධින්ද්රියය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්ද්රිය වේ. යමෙක් විරියින්ද්රිය වේ නම් එය විරියබලය වේ. යමෙක් විරියබලය වේ නම් එය විරියින්ද්රිය වේ. යමෙක් සතින්ද්රිය වේ නම් එය සතිබලය වේ. යමෙක් සතිබලය වේ නම් එය සතින්ද්රිය වේ. යමෙක් සමාධින්ද්රිය වේ නම් එය සමාධිබලය වේ. යමෙක් සමාධිබලය වේ නම් එය සමාධින්ද්රිය වේ. යමෙක් පඤ්ඤින්ද්රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්ද්රිය වේ.
මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණු පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ නදියක් වේ ද, එහි මැද දිවයිනෙක් වන්නේ ය. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැයි ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙසැඩපහරෙකැයි ම ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැ යි ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි පෙරදිග කෙළවර යම් දියෙක් වේ ද, පැළදිග කෙළවර යම් දියෙකුත් වේ ද, මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම දියපහරෙකැ යි ගිණුමට යේ නම් මේ ඒ නය යි. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැ යි ම ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි උතුරු කෙළවර යම් දියෙක් වේ ද, දකුණු කෙළවර යම් දියකුත් වේ ද මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැයි ම ගිණුමට යේ නම් මේ ඒ නයයි. මහණෙනි, එසෙයින් ම යමෙක් සද්ධින්ද්රිය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්ද්රියය වේ ... යමෙක් පඤ්ඤින්ද්රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්ද්රිය වේ. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් මහණතෙමේ ආශ්රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්රව වූ ඵලසමාධියත් ඵලප්රඥාවත් දිටු දැමියෙ හි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
4. 5. 4.
පුබ්බ කොට්ඨක සූත්රය
1728. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුබ්බකොට්ඨකයෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක: සාරිපුත්ත සද්ධින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි තෙපි හදහවු දැ යි.