4. 4. 7.
දුතිය විභඞ්ග සූත්රය
1721. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, සුඛින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, කායප්රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මෙය සුඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේ ද යත්: ... මහණෙනි, උපෙක්ඛින්ද්රිය කවරේද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්රසාදවස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, එහි යම් සුඛින්ද්රියයකුත් යම් සෝමනස්සින්ද්රියයකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්ද්රියයකුත් යම් දෝමනස්සින්ද්රියයකුත් වේ නම් එය දුක් වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්ද්රියයෙක් වේ නම් එය නොදුක් නොසුවවෙදනා යි දැක්කයුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 8.
තතිය විභඞ්ග සූත්රය
1722. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, සුඛින්ද්රිය කවරේ ද යත්: මහණෙනි, කායප්රසාදවාස්තුක සුව වූ කායප්රසාදවාස්තුක මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සුඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේ ද යත්; මහණෙනි, කායප්රසාදවාස්තුක දුක් වූ කායප්රසාදවාස්තුක අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දුක්ඛින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්ද්රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සෝමනස්සින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්ද්රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දෝමනස්සින්ද්රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්ද්රියය කවරේ ද යත්: මහණෙනි, චක්ෂුරාදිචතුඃප්රසාදවාස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ උපෙක්ඛින්ද්රිය යි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් සුඛින්ද්රියයෙකුත් යම් සෝමනස්සින්ද්රියයෙකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්ද්රියයෙකුත් යම් දෝමනස්සින්ද්රියයෙකුත් වේ නම් එය දුක්වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්ද්රියයෙක් වේ නම් එය නොදුක් නොසුව වේදනා යි දැක්කයුතු. මහණෙනි, මෙසේ මේ පසිඳුරෝ පස් අයුරු ව ත්රිවිධ වෙති, තුන් අයුරු ව පඤ්චවිධ වෙති යි.
4. 4. 9.
කට්ඨොපම සූත්රය
1723. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, සුව වේදනාවට හිත වූ පහස නිසා සුඛින්ද්රිය උපදි. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුඛිතයෙමි යි දැනගනී. සුවවේදනාව ට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දුක්වේදනාවට හිත වූ පහස නිසා දුක්ඛින්ද්රිය උපදී. හෙතෙමේ හටගත් දුක් ඇත්තේ ම දුක්ඛිතයෙමි යි දැනගනී. දුක්වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දුක්වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දුක්ඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී.
මහණෙනි, සෝමනස්සවේදනාවට හිත වූ පහස නිසා සෝමනස්සින්ද්රිය උපදී. හෙතෙමේ සුඛිත සිත් ඇත්තේ ම සුමනස්මි යි දැනගනී. සෝමනස්සවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සෝමනස්සින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දොම්නස්වේදනාවට හිත වූ පහස නිසා දෝමනස්සින්ද්රිය උපදී. හෙතෙමේ දුක්ඛිත සිත් ඇත්තේ ම දුර්මනස්මි යි දැනගනී. දොම්නස් වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දෝමනස්සින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. මහණෙනි, මැදහත්වෙදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්ද්රිය උපදී. හෙතෙමේ මැදහත් බැව් ඇත්තේ ම උපේක්ෂකයෙමි යි දැනගනී. උපේක්ෂා වේදනාවට හිත වූ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, උපේක්ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්ද්රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යී දැනගනී.