4. 4. 4.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
1718. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිත්ද ... දනිත්ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 5.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
1719. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සුඛින්‍ද්‍රිය නො දනිත් ද සුඛින්‍ද්‍රියසමුදයය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරෝධය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදාව නො දනිත් ද දුක්ඛින්‍ද්‍රිය නො දනිත් ද ... සෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... දෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... උපෙක්ඛින්‍ද්‍රිය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියසමුදය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියනිරොධය නො දනිත් ද ... උපෙක්ඛීන්‍ද්‍රියනිරොධගාමිනීපටිපදව නො දනිත් ... දනිත් ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 6.
විභඞ්ග සූත්‍රය
1720. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති දුක් වූ කායප්‍රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳ වූ හෝ නො ම මිහිරි වූත් නොම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 7.
දුතිය විභඞ්ග සූත්‍රය
1721. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මෙය සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: ... මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාදවස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය දුක් වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුවවෙදනා යි දැක්කයුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 8.
තතිය විභඞ්ග සූත්‍රය
1722. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදවාස්තුක සුව වූ කායප්‍රසාදවාස්තුක මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්; මහණෙනි, කායප්‍රසාදවාස්තුක දුක් වූ කායප්‍රසාදවාස්තුක අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, චක්‍ෂුරාදිචතුඃප්‍රසාදවාස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.