4. 4. 10.
උප්පටිපාටික සූත්රය
1724. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: දුක්ඛින්ද්රිය, දෝමනස්සින්ද්රිය, සුඛින්ද්රිය, සෝමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, මෙහි, නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දුක්ඛින්ද්රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක්ඛින්ද්රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්රත්යය සහිත ය, ඒ දුක්ඛින්ද්රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්රත්යය රහිත ව උපදනේය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක්ඛින්ද්රියයත් දැනගනී. දුක්ඛින්ද්රිය සමුදයයත් දැනගනී. දුක්ඛින්ද්රියනිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමුන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක්ඛින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දුක්ඛින්ද්රියයේ නිරෝධය දත්තේ ය, ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දෝමනස්සින්ද්රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ දෝමනස්සින්ද්රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්රත්යය සහිත ය. ඒ දෝමනස්සින්ද්රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්රත්යය රහිත ව උපදනේය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම දෝමනස්සින්ද්රියත් දැනගනී. දෝමනස්සින්ද්රියසමුදයයත් දැනගනී. දෝමනස්සින්ද්රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් දෝමනස්සින්ද්රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දෝමනස්සින්ද්රියය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විතර්ක විචාරයන් සන්හිඳීමෙන් තම සිත්හි පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්කරහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් දෝමනස්සින්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දොමනස්සින්ද්රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා’යි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සුඛින්ද්රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ සුඛින්ද්රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්රත්යය සහිත ය. ඒ සුඛින්ද්රියය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්රත්යය රහිත ව උපදනේ ය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම සුඛින්ද්රියයත් දැනගනී. සුඛින්ද්රියසමුදයත් දැනගනී. සුඛින්ද්රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් සුඛින්ද්රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් සුඛින්ද්රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්රීතියෙහිත් නො ඇල්මෙන් උපේක්ෂක ව වෙසෙයි. සිහි ඇත්තේත් මනා දැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. ආර්ය්යයෝ යම් ඒ දැහැනක් උපේක්ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය සුව විහරණ ඇත්තේ යයි කියත් නම් (ඒ) තෙවන දැහැනට පැමිණ වෙසෙ යි. මෙහි උපන් සුඛින්ද්රිය නිරවශේෂ ව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ සුඛින්ද්රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.