4. 2. 4.
තතිය සඞ්ඛිත්ත සූත්‍රය
1698. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රගත්මඟ කරන්නේ රහත්බව සපයයි. පෙදෙස් වූ යට තුන්මඟ කරන්නේ යට තුන් පල සපයයි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමියි.
4. 2. 5.
විත්‍ථාර සූත්‍රය
1699. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන්ගෙන් (ආයු මැද නොයික්මවා) අතර කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු හෙවත් රහත්වනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් (ආයු මැද ඉක්මවා) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ නැති ව (සුවසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ ඇති ව (දුකසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් හෙවත් අවිහයෙහි පටන් සිවුබඹලොව උපදින්නෙක් වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් ගෙන් සද්ධානුසාරී වේ යි.
4. 2. 6.
දුතිය විත්‍ථාර සූත්‍රය
1700. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද වේ යි.
4. 2. 7.
තතිය විත්‍ථාර සූත්‍රය
1701. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රහත්මග කරන්නේ රහත්බව සපය යි, යට තුන්මඟ කරන්නේ යට තුන්පල සපය යි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමි යි.
4. 2. 8.
පටිපන්න සූත්‍රය
1702. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් රහත්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. මහණෙනි, යමකුට මේ පසිඳුරෝ මුළුමනින් සියලු අයුරින් නැද්ද, හෙතෙමේ බැහැර වූ පුහුදුන් පසෙහි සිටියේ ය යි මම කියමි යි.