4. 1. 10.
දුතිය විභඞ්ග සූත්‍රය
1694. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැත්තේ වෙයි. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙව්මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් හ යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස් කිරීම පිණිස ඇරැඹුණු වැර ඇතියේ කුසල්දහම්හි තිරවැර ඇතියේ දඩිපැරකුම් ඇතියේ නොබහා තැබූ වැර ඇතියේ වෙසෙයි. හේ නූපන් ලාමක අකුසල්දහම් නොඉපැද්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙ යි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් පැහීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපැත්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් කුසල්දහම් පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. මහණෙනි, මෙය විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සතින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, මෙහි අරීසවු සිහි ඇතියේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. හෙ කයෙහි කය අනු ව දක්නාසුලු ව … වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දෙම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟබව ලබයි. හේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල්දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... දෙවන දැහැනට ... තෙවන දැහැනට පැමිණ වෙසෙයි, සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදුබැව් ඇති සිවු වන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනැවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. හේ මේ දුකැයි තතුසේ දනියි. මේ දුක්ඛසමුදය යි තතුසේ දනියි. මේ දුක්ඛනිරෝධය යි තතුසේ දනියි මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය යි තතුසේ දනියි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
පළමුවැනි සුද්ධක වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සුද්ධක සූත්‍රය ද සෝත සූත්‍ර දෙක ද අනෙක් අරහන්ත සූත්‍ර දෙක ද සමණ සූත්‍ර දෙක ද දට්ඨබ්බසූත්‍රය ද අනෙක් විභඞ්ග සූත්‍ර දෙකදැ යි (මුළුල්ල දශයෙකි) යි.