3. 5. 6.
පාතිමොක්ඛ සූත්‍රය
1224. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්නේය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරනු මැනවි”’ යි.
මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු. කවර සිවුසීවටන් හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු නම් මහණ, එකල තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ ද, කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම නොකැමති විය යුතු. එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව ... ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූහ යි.
3. 5. 7.
දුච්චරිත සූත්‍රය
1225. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් කාදිවිදෙක්හි නිරපේක්‍ෂකයෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවි” යි.
මහණ, එසේ නම් තෙපි මෙහිලා කුසල්දම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ මෙහි තෙපි කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු. මහණ, තෙපි යම් කලෙක කායදුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු නම් වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු නම් මනෝදුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු නම් මහණ, එකල්හි තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු. කවර සිවුසීවටන්හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, තෙපි යම් කලෙක සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද; මහණ, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි පිරිහීමෙක් නොව වැඩීමෙක්ම කැමති විය යුතුයි ... ඒ මහණ ද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.