3. 3. 9.
සිරිවඩ්ඪ සූත්‍රය
1207. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි සිරිවඩ්ඨ ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය, එව. තෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙව. එළඹ “වහන්ස, සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳී” යි මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳුව, මෙසේත් කියව: වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩ්ඨ ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක් නම් මැනවැ යි.
“එසේ ය හිමියනි” යි ඒ පුරිස් සිරිවඩු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ පුරිස් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, සිරිවඩු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ ය. දුකට පැමිණියේ ය. දැඩි සේ ගිලන් වූයේ ය. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක්නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නිහඬබැවින් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සිරිවඩු ගැහැවිහට මෙය වදාළහ: ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද් ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පැනේ දැ? යි. වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැකි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙති. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනෙයි, අඩු වීමෙක් නො පැනේ යි. ගැහැවි, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: “කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි” යි. ගැහැවි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
වහන්ස, යම් මේ සිවුසීවටන්හු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇතියහ. මම ද ඒ දහම්හි මැනවින් දිස්වෙමි. වහන්ස, මම කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගියසංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු නම් ඔවුනතුරෙන් ප්‍රහීණ නො වූ කිසිවක් තමා කෙරෙහි මම නො ම දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, අනාගාමි ඵලය තොප විසින් පවසන ලදැ යි.