3. 3. 1.
සීල සූත්රය
1199. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් භද්දතෙරණුවෝ ද පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති, එකල්හි ආයුෂ්මත් භද්දතෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟි සිටියෝ ආයුෂ්මත් ආනන්දතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්දතෙරණුවන් සමග සතුටුවූහ ... ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, යම් මේ කුසල්සිල් කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද ද, මේ කුසල්සිල් කුමක් පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, භද්දයෙනි, මැනවි මැනවි: ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්රශ්න විමර්ශනය යහපති. ප්රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? ඇවැත්නි, ආනන්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් කුමක් පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් සිවුසීවටන් වැඩීම පිණිස භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් මේ සිවුසීවටන් වැඩීම පිණිස ම භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
3. 3. 2.
ඨිති සූත්රය
1200. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ යි? ඇවැත්නි,
භද්දයෙනි, මැනවි, මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්රශ්න විමර්ශනය යහපති. ප්රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්ය දැ”යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ යි.
3. 3. 3.
පරිහාන සූත්රය
1201. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ? යි. ඇවැත්නි භද්දයෙනි, මැනවි මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ නුවණ සෙවීම යහපති. වැටහීම යහපති. පිළිවිසුම මැනවි. ඇවැත්නි භද්දයෙනි, තෙපි මෙසේ පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය ද, ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය දැ” යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වෙර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වේ. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ යි.