3. 3. 2.
ඨිති සූත්‍රය
1200. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි? ඇවැත්නි,
භද්දයෙනි, මැනවි, මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ”යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි.
3. 3. 3.
පරිහාන සූත්‍රය
1201. කුක්කුටාරාමයෙහි:
ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි. ඇවැත්නි භද්දයෙනි, මැනවි මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ නුවණ සෙවීම යහපති. වැටහීම යහපති. පිළිවිසුම මැනවි. ඇවැත්නි භද්දයෙනි, තෙපි මෙසේ පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය ද, ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි. ඇවැත්නි, එසේ යි.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වෙර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වේ. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ යි.