3. 2. 9.
සේදක සූත්‍රය
1197. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්ම දනව්වෙහි සුහ්මයන්ගේ, සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, පෙර චණ්ඩාලවංශිකයෙක් සැඩොල්හුණගස ඔසොවා “යහළු මේදකථාලිකාවනි, එවු තෙපි සැඩොල්හුණගසට නැඟී මාගේ කඳ මතුයෙහි සිටිවු” යි. මේදකථාලිකා නම් අතැවැස්සා ඇමතී ය.
මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.
“මේදකථාලිකා අතැවැසි තෙමේ ඇදුරාට යම්සේ කීයේ නම් එය එහි න්‍යායය”, යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “මහණෙනි, තමා රක්නෙමි” යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මහණෙනි, කෙසේ නම් තමා රක්නේ මෙරමා රකී ද යත්: කමටහන් සෙවුමෙනි, වැඩීමෙනි, බහුල කිරීමෙනි, මෙසේ තමා රක්නේ මෙරමා රකී. මහණෙනි, කෙසේ නම් මෙරමා රක්නේ තමා රකී ද යත්: ඉවසීමෙනි, කරුණායෙනි, මෙත්සිත් ඇති බැවිනි, මුදු බැවිනි. මහණෙනි, මෙසේ මෙරමා රක්නේ තමා රකියි. මහණෙනි, තමා රක්නෙමී යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මෙරමා රක්නේ තමා රකී යි.
3. 2. 10.
ජනපදකල්‍යාණී සූත්‍රය
1198. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්මදනව්වෙහි සුහ්මයන්ගේ සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ජනපදකල්‍යාණිය යම්සේ ද: මහණෙනි, ජනපදකල්‍යාණි යයි (ඇසූකෙණෙහි) මහජන සමූහයා රැස්වන්නේ ය. ඒ ජනපදකල්‍යාණි තොමෝ නැටුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී ගැයුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී වන්නී ය. මහණෙනි, දනවුකලණ නටයි, ගයයි ඇසූ කෙණෙහි බෙහෙවින් ම මහජනසමූහයා රැස්වන්නේ ය. එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, මුවටිට සම කොට පිරුණු මේ තෙල් බඳුන මහාසමූහයා අතරෙන් දනවුකලණ අතරෙන් ගෙන යායුතු. ඔසවා ගත් කඩු ඇති පුරුෂයෙක් පසුපස ලුහුබඳනේ ය. යම් මැ තැනෙක එයින් ස්වල්පයකුදු ඉවතලන්නේ නම් එහි ම තාගේ හිස කපා හෙළන්නේ” යි. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරුෂ තෙමේ ඒ තෙල් බඳුන නො මෙනෙහි කොට බැහැර පමාවට එළඹෙන්නේ ද? වහන්ස, එය නො වේ ම ය.
මහණෙනි, අරුත් දන්වනු පිණිස මා විසින් මේ උපමාවක් කරන ලද. මේ එහි අර්‍ත්‍ථ යි: මහණෙනි, “මුවවිට සම කොට පිරුණු තෙල්බඳුනැ” යි කාගියසිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මියයුතු යි: අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී යානයක් මෙන් කරන ලද්දී වස්තුවක් මෙන් කරන ලද්දී දැඩිසේ පිහිටුවන ලද්දී පුරුදු කරන ලද්දී මැනවින් අරඹන ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
දෙවැනිනාලන්‍ද වර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
මහාපුරිස, නාලන්‍ද, චුන්‍ද, උක්කචෙල, බාහිය, උත්තිය, අරිය, බ්‍රහ්ම යන සූත්‍ර අට ය. සේදක ජනපදකල්‍යාණි ය යි සූත්‍ර දශයෙකි.