3. 2. 6.
උත්තිය සූත්රය
1194. එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... උත්තිය, එකල්හි තෙපි සසර පරතෙරට යන්නහු යි ... ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
3. 2. 7.
අරිය සූත්රය
1195. මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආර්ය වූ නෛර්ය්යාණික වූ මේ සිවුසීවටන්හු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවත්. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, ආර්ය වූ නෛර්ය්යාණික වූ මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවති යි.
3. 2. 8.
බ්රහ්ම සූත්රය
1196. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි රහසිගත ව විවේකයෙන් යුතුව වැඩවෙසෙන භාග්යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: යම් මේ සිවුසීවටන්හු වෙද් ද; සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ වේදනාහි හෝ ... මහණ සිත්හි හෝ ... මහණ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්ම වීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ වේ යි.
එකල්හි සහම්පතී බ්රහ්ම සියසිතින් භාග්යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරන්නේ ද; දිගුකළ අතක් හෝ හකුළුවන්නේ ද එසෙයින් ම බඹලොව අතුරුදන් ව භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්රහ්ම උතුරුසඟ එකස් කොට ඇඳිලිබැඳ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ” ය.