3. 2. 3.
චුන්ද සූත්රය
1191. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගදදනව්වෙහි නාළකගම්හි හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩිසේ ගිලන් වූවාහු වැඩවෙසෙති. චුන්දහෙරණ තෙමේත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට උවටැන් කරන්නේ වේ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ ආබාධයෙන් ම පිරිනිවියහ. ඉක්බිති චුන්ද හෙරණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චුන්ද හෙරණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කී ය.
වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු යි ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ දකිනු වස් මේකතාපඬුරෙක් ඇත. ඇවත චුන්ද, යමු. භාග්යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. එළඹ භාග්යවතුන් වහන්සේට මෙ අරුත සැලකරන්නෙමු යි. වහන්ස, එසේ ය යි චුන්දහෙරණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිතුරු දිනි. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝත් චුන්දහෙරණුවෝත් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මේ චුන්ද හෙරණ මෙසේ කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු” යි. වහන්ස, තව ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ යි අසා මාගේ සිරුර තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නොවැටහේ යි.
ආනන්ද, කිමෙක් ද? සැරියුත් තොපගේ ශීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? සමාධිස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? ප්රඥාස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ දැ?යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මාගේ ශීලස්කන්ධය හෝ රැගෙන නො පිරිනිවියහ ... මාගේ විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ රැගෙන නො ම පිරිනිවියහ. වහන්ස, එතෙකුදු වුවත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අවවාද කරන්නෙක් කරුණු අඟවන්නෙක් කරුණු දක්වන්නෙක් සමාදන් කරවන්නෙක් තෙද ගන්වන්නෙක් සතුටු කරවන්නෙක් දම්දෙසුම්හි නො පසුබස්නෙක් සබ්රම්සරුන්ට අනුග්රහ කරන්නෙක් වූහ. අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ ඒ ධර්මොජස ධර්මභොගය ධර්මානුග්රහ සිහි කරමු යි.
ආනන්ද, සියලු ප්රියමනාප වස්තුවලින් වෙනස්වනබව වෙන්වන බව අන්අයුරකට පැමිණෙනබව මා විසින් පළමු කොට ම කියන ලද්දේ නො වේ ද? ආනන්ද, ඒ යමක් උපන්නේ ද වූයේ ද හේතු ප්රත්යයෙන් හටගත්තේ ද වැනසෙන සැහැවි ඇත්තේ ද; එය ඒකාන්තයෙන් විනාශ නො වේවා යන ඒ කරුණ මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කරුණ නැත්තේ ය. ආනන්ද, යම්සේ පවත්නා හර ඇති මහත්රුකෙක යම් ඉතාමහත් කඳෙක් වේ ද; එය නැසෙන්නේ ය. ආනන්ද, එසෙයින් ම පවත්නා හර ඇති මහත් බික්සඟන පිළිබඳ සැරියුත් පිරිනිවියේ ය. ආනන්ද, යමක් උපන්නේ ද වූයේ ද හේතුප්රත්යයෙන් හටගත්තේ ද වැනසෙන ස්වභාව ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො නැසේ වා යන ඒ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කාරණය නැත්තේ ය. ආනන්ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු.
ආනන්ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්; ආනන්ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්ද, යම්කිසි භික්ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු නම් ආනන්ද, යම්කිසි භික්ෂු කෙනෙක් ශික්ෂාකාමී වන්නාහු නම් ඒ මේ භික්ෂූහු අග්රතම වෙති යි.
3. 2. 4.
උක්කචෙල සූත්රය
1192. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැරියුත්මුගලන් දෙනම පිරිනිවී නො බෝකල් ඇති සමයෙහි වැදෑදනව්වෙහි උක්කචෙලා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි මහත් බික්සඟන සමග වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් එලිමහන්හි වැඩහුන් සේක් වෙති. එකල්හි භාග්යවතුන් වහන්සේ නිහඬ බික්සඟන දෙස බලා භික්ෂූන් ඇමතූ සේක: