3. 2. 4.
උක්කචෙල සූත්‍රය
1192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැරියුත්මුගලන් දෙනම පිරිනිවී නො බෝකල් ඇති සමයෙහි වැදෑදනව්වෙහි උක්කචෙලා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි මහත් බික්සඟන සමග වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් එලිමහන්හි වැඩහුන් සේක් වෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ බික්සඟන දෙස බලා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, සැරියුත්මුගලන් දෙනම පිරිනිවී කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාසේ වැටහේ. මහණෙනි, යම් දිගෙක සැරියුත් මුගලන් දෙනම වෙසෙත් නම් මාගේ ඒ පිරිස නො සිස් වේ. ඒ දික්හි පුනපුනා අපේක්‍ෂාව වේ. මහණෙනි, අතීතකාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ වූ නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වී ය. මහණෙනි, අනාගතකාලයෙහි යම් ඒ අර්‍හත්සම්මාසම්බුදුවරයෝ වන්නාහු නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වන්නේ ය. මහණෙනි, සව්වන්ගේ අසිරියෙකි. මහණෙනි, සව්වන්ගේ පුදුමයෙකි. ශාස්තෘසම වූවෝ ම සස්න කරන්නෝ අවවාදය අනු ව ක්‍රියා කරන්නෝ වන්නාහ. සිවුපිරිසට ප්‍රිය වූවෝ ද මන වඩන්නෝ ද ගරු කටයුත්තෝ ද වන්නාහ. මහණෙනි, තථාගතයන්ගේ අසිරියෙකි. මහණෙනි, තථාගතයන්ගේ පුදුමයෙකි. මෙබඳු වූ ම ශ්‍රාවකයුග්මයක් පිරිනිවිකල්හි දු තථාගතයන්ට ශෝකයෙක් හෝ වැලපීමෙක් හෝ නැති මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය.
මහණෙනි, යම්සේ හර ඇති සිටුනා මහත්රුකෙක යම් ඉතා මහත් කඳහු වෙත් නම් ඔහු වැනසෙන්නාහ. මහණෙනි, එසෙයින් ම හර ඇති සිටුනා මහත්බික්සඟනගේ සැරියුත්මුගලන්හු පිරිනිවියහ. මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසෙවු.
මහණෙනි, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මහණ මෙසේ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ. මහණෙනි, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.