3. 2. 2.
නාලන්දා සූත්රය
1190. එක්කලෙක භාග්යවතුන් වහන්සේ නාලන්දානුවර සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය. නො ද වන්නේ ය. දැනුදු නැත්තේ ය” යි මෙසේ මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි.
සාරිපුත්ත, සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්යවතුන් වහන්සේට වඩා උත්තරීතර ඤාන ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය, නො ද වන්නේ ය, දැනුදු නැත්තේ ය යි මෙසේ මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි යන මේ ශ්රේෂ්ඨය අකම්ප්ය වචනයෙක් මෙහි ලා කියන ලදී. ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලදී. සාරිපුත්ත, කිම? ඉකුත්කල යම් ඒ අර්හත් සම්මාසම්බුදුවරයෝ පහළ වූ සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ “තොප විසින් ඒ භාග්යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූ සේකැයි හෝ ඒ භාග්යවතුන් වහන්සේලා මෙබඳු දහම් ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වූ සේකැ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දෝ දැ? යි වහන්ස මෙය නැත් ම ය.
සාරිපුත්ත, කිමෙක් ද? මතුකල යම් ඒ අර්හත් සම්මාසම්බුදුවරයෝ පහළ වන සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ තොප විසින් “ඒ සියලු භාග්යවතුන් වහන්සේ ලා මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්යවතුන් වහන්සේ ලා මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්යවතුන් වහන්සේ ලා මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි වහන්ස, මෙය නැත් ම ය.
සාරිපුත්ත, කිමෙක් ද? තොප විසින් දැන් අර්හත් සම්මාසම්බුදුරජ “භාග්යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති සේකැ යි හෝ භාග්යවතුන් වහන්සේ මෙබඳු දහම් ඇති සේකැ යි හෝ භාග්යවතුන් වහන්සේ මෙබඳු ප්රඥා ඇති සේකැ යි හෝ භාග්යවතුන් වහන්සේ මෙබඳු විහරණ ඇති සේකැ යි හෝ භාග්යවතුන් වහන්සේ මෙබඳු විමුක්ති ඇති සේකැ යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි. වහන්ස, මෙය නැත් ම ය. සාරිපුත්ත, මෙහි ලා තොපට අතීතානාගතපච්චුප්පන්න අර්හත් සම්මාසම්බුදුවරයන් කෙරෙහි චේතෝපරියඤාණයෙක් (=සිතින් සිත පිරිසිඳ දැනීමේ නුවණෙක්) නැත. එකල්හි කුමක් හෙයින් තොප විසින් “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මගනුවණෙහි ලා භාග්යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් නො ද වීය. නොද වන්නේ ය. දැනුදු නැතැ යි මෙසේ මම භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි ශ්රේෂ්ඨ අකම්ප්ය වචනයෙක් කියන ලද ද: ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලද දැ? යි.