3. 1. 9.
ගිලාන සූත්‍රය
1187. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි බේළුවගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි එවු. තෙපි මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹෙවු. මම මෙහි බේලුවගම්හි ම වස් එළඹෙමී” යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹුණාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි ම බේලුවගම්හි වස් එළඹුණු සේක. එකල්හි වස් එළඹුණු භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර ආබාධයක් උපන. මරණය කරා පමුණුවන දැඩි වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නොපෙළෙමින් ඒ වේදනා ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “යම්බඳු මම උවැටන් කරන්නවුන් නො අමතා බික්සඟන නො දන්වා පිරිනිවෙම් නම් මට එය සුදුසු නො වෙයි. මම මේ රෝගය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර (ජීවිතය පවතින සේ) අධිෂ්ඨාන කොට වෙසෙන්නෙම් නම් මැනැවැ”යි . එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර අධිෂ්ඨාන කොට වැඩවූසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්බවෙන් නැඟීසිටි සේක්. ගිලන්බවෙන් නැගී සිටි නොබෝකල් ඇති සේක් වෙහෙර පසුපස සෙවණැල්ලෙහි පැනැ වූ අසුන්හි වැඩහුන් සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්බව හේතු කොට ගෙන මාගේ සිරුර ද තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නො වැටහේ. වහන්ස, තව ද භාග්‍යවතුන් වහන්සේ දැන් ම නො පිරිනිවෙන සේක. භාග්‍යවි ය යි.
ආනන්‍ද, බික්සඟන මා කෙරෙහි කුමක් අපේක්‍ෂා කෙරේ ද? ආනන්‍ද, මා විසින් ආනන්තර-අබාහිර (-නො සඟවා) නො කොට දහම් දෙසන ලදී. ආනන්‍ද, තථාගත දහම්හි ආචාර්‍ය්‍ය මුෂ්ටි නැත. ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේ ව)” යි හෝ යමකුට ඒකාන්තයෙන් මෙබඳු අදහසක් වන්නේ ද ආනන්‍ද, හේ ඒකාන්තයෙන් බික්සඟන ඇරබ කිසිවක් ගෙන හැර පානේ (කිසියම් අවවාදයක් දෙන්නේ) නම් ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේව)” යි හෝ තථාගතයන් හට වූකලී මෙබඳු සිතෙක් නො වේ. ආනන්‍ද, ඒ තථාගත බික්සඟන ඇරබ කිසිවක් ගෙනහැර පානේ ද ආනන්‍ද, දැන් වූකලී දිරූයෙම් වෘද්ධයෙම් මහලු වූයෙම් කල්ගත වූයෙම් පිළිවෙළින් මහලුවියට පැමිණියෙම් මාගේ අසූවැනි විය පවතී. ආනන්‍ද, දිරූ ගැලක් යම්සේ හුණු මුසු පිළිසකරින් යැපේ ද ආනන්‍ද, එපරිද්දෙන් තථාගතයන්ගේ කය හුණු මුසු පිළිසකරින් මෙන් යැපේ.
ආනන්‍ද, යම්කලෙක තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නො කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත වූ චිත්තසමාධියට පැමිණ වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ට ඉතා පහසු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු. ආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාව … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු ද, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, ආනන්‍ද, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.