3. 1. 10.
භික්ඛුනුපස්සය සූත්රය
1188. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන්හ. එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ මෙහෙණහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ: “වහන්ස, ආනන්දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. නැගණියනි, එය එසේ ය. නැගණියනි, එය එසේ ය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එලඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු යි, ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දැහැමි කථාවෙන් ඒ මෙහෙණුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී ගියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් කරා එළඹියෙමි. එළඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, එකල්හි බොහෝ මෙහෙණහු මා වෙත එළඹියහ. එළඹ මා වැඳ එකත්පස්ව හුන්හ. වහන්ස, එකත්පස් ව හුන් ඒ මෙහෙණහු මට මෙය කීහ: “වහන්ස, ආනන්දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. වහන්ස, එසේ කියන ලද මම ඒ මෙහෙණට මෙය කීමි. “නැගණියනි, එය එසේය. නැගණියනි, එය එසේය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති විය යුතු” යි.
ආනන්ද, එය එසේ ය. ආනන්ද , එය එසේ ය. ආනන්ද, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු. කවර සතරෙක ද යත්: ආනන්ද, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ද කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කය අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරෙයි. ආනන්ද, ඒ මහණහු විසින් කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවියයුතු යි. කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්රමුදිතභාවය උපදී. හටගත් ප්රමෝද ඇත්තහුට ප්රීතිය උපදී. ප්රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳි යි. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මෙසේ නුවණින් සලකා බලයි: “මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපනි. ඒකාන්තයෙන් දැන් (පැහැදියයුතු නිමිත්තෙන් සිත) ආපසු හැර ගනිමි” යි. හෙතෙමේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. නො ද විතර්ක කෙරෙයි. නො ද විචාර කෙරෙයි. විතර්ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට වේදනා අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට සිත් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරේ. ආනන්ද, ඒ මහණහු විසින් පැහැදිය යුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවියයුතු. පැහැදියයුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්රමුදිත භාවය උපදී. හටගත් ප්රමෝද ඇත්තහුට ප්රීතිය උපදී. ප්රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපන. ඒකාන්තයෙන් දැන් ආපසු හැර ගනිමි”යි මෙසේ නුවණින් සලකා බලයි. හේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. විතර්ක නො ද කෙරෙයි. විචාර නො ද කෙරෙයි. විතර්ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්ද, මෙසේ (සිත) පිහිටුවා වැඩීම වේ.