3. 1. 8.
සූද සූත්රය
1186. මහණෙනි, යම්සේ බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ මේ අරක්කැමි තම ස්වාමියාගේ (භෝජන) නිමිත්ත නො උගනියි. “අද මාගේ ස්වාමිහට මේ සූපරසය රුචි වේ ය හෝ, මෙය ගැනීමට අත දිගුකරයි හෝ, මෙය බොහෝ කොට ගනියි හෝ, මෙහි ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වේ යි හෝ, ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනියි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙහි ගුණ කියා යි හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති ... හෝ … අද මාගේ සැමියාට මිහිරි කොටස් ඇති හෝ, … අද මාගේ සැමියාට කරරස ඇති හෝ, ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ ය හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණු රස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණු රස නැති සූපයේ ගුණ කියා යි හෝ” යි. මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ මේ අරක්කැමි වස්ත්ර නො ද ලබනසුලු වෙයි. වැටුප් නො ද ලබනසුලු වෙයි. පඬුරු නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත නො උගනියි ද එහෙයිනි.
මහණෙනි, එසෙයින් ම මෙහි බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වේ. කෙලෙස් ප්රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වෙයි. කෙලෙස් ප්රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ මහණ දිටුදැමියෙහි සුව විහරණ නො ද ලබනසුලු වෙයි. සිහි නුවණ නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත නො උගනී ද එහෙයිනි.
මහණෙනි, යම්සේ පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත උගනියි. “අද මාගේ ස්වාමියාට මේ සූපරසය රුචි වේ යි හෝ මෙයට අත දිගුකරයි හෝ මෙයින් බොහෝ ගනියි හෝ මෙහි ගුණ කියායි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වෙ යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනි යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයේ ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට තිත්ත කොටස් ඇති … හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට මිහිරි කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට කරරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ යි හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණුරස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණුරස නැති සූපයෙහි ගුණ කියා යි හෝ” යි. මහණෙනි, පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ ඒ මේ අරක්කැමි වස්ත්ර ලබනසුලු වෙයි. වැටුප් ලබනසුලු වෙයි. පඬුරු ලබනසුලු වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්යක්ත වූ දක්ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත උගනී එහෙයිනි.