3. 1. 7.
මක්කට සූත්රය
1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා සතු විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය කිමෙක් ද යත්: මේ පස්කම්ගුණ යි. කවර පසෙක් ද යත්; ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ යැ ... ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යැ. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය යි.
මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු නො ලබන්නේ ය. මරු අරමුණක් නො ලබන්නේ ය. මහණෙනි, මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය කිමෙක් ද යත්: මේ සිවු සීවටනි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය යි.
3. 1. 8.
සූද සූත්රය
1186. මහණෙනි, යම්සේ බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ මේ අරක්කැමි තම ස්වාමියාගේ (භෝජන) නිමිත්ත නො උගනියි. “අද මාගේ ස්වාමිහට මේ සූපරසය රුචි වේ ය හෝ, මෙය ගැනීමට අත දිගුකරයි හෝ, මෙය බොහෝ කොට ගනියි හෝ, මෙහි ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වේ යි හෝ, ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනියි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙහි ගුණ කියා යි හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති ... හෝ … අද මාගේ සැමියාට මිහිරි කොටස් ඇති හෝ, … අද මාගේ සැමියාට කරරස ඇති හෝ, ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ ය හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණු රස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණු රස නැති සූපයේ ගුණ කියා යි හෝ” යි. මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ මේ අරක්කැමි වස්ත්ර නො ද ලබනසුලු වෙයි. වැටුප් නො ද ලබනසුලු වෙයි. පඬුරු නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්යක්ත වූ අදක්ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත නො උගනියි ද එහෙයිනි.