3. 1. 6.
සකුණග්ඝි සූත්‍රය
1184. මහණෙනි, පෙර ගිජුලිහිණියක් සැහැසිකමින් පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හි කැට කුරුලු තෙමේ ගිජුලිහිණිය විසින් හැර ගෙන යනු ලබන්නේ මෙසේ හැඬී ය: යම්බඳු අපි අගෝචර වූ අනුන් අයත් විෂයෙහි හැසුරුණමෝ නම් (ඒ) අපි ම කාලකන්නි වම්හ. අපි ම පින් නැත්තම්හ. ඉදින් අපි ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසුරුණමෝ නම් මේ ගිජුලිහිණි මේ යුද්ධයට නො ද සමත් වන්නී ය යි. එම්බල කැටකුරුල්ල තාගේ ගොදුරු වූ සියපියසතු විෂය කිමෙක් දැ”යි. නඟුලෙන් සාන ලද කෙතෙහි කැට නැඟි තැනයි. මහණෙනි, එකල්හි ගිජුලිහිණි සිය බලයෙහි තද ව සිට සියබලය වනමින් එම්බල කැටකුරුල්ල, තෝ යා, එහි ද ගොස් මාගෙන් නො මිදෙන්නේ යැ යි මිදුවා ය.
මහණෙනි, ඉක්බිති කැටකුරුලු තෙමේ නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් මහත් කැටකට නැඟ “ගිජුලිහිණිය, දැන් එව, ගිජුලිහිණිය, දැන් එව” යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. මහණෙනි, එකල්හි ඒ ගිජුලිහිණි සියබලයෙහි තද කොට සිටගෙන සියබලය වනමින් දෙපියාපත් නඟා කැටකුරුල්ලා වෙත සැහැසි කමින් පැමිණියා ය. මහණෙනි, යම් කලෙක කැටකුරුලු තෙමේ ගිජුලිහිණි මා පිණිස බොහෝ දුර ආවා යි දැන ගත්තේ නම් එකල්හි ඒ කැටෙහි ම ඇතුළට පිවිසියේ ය. මහණෙනි, එකල ගිජුලිහිණිය එහි ම ළය තළාගත්තා ය. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරේ නම් එය මෙසේ ම වේ.
මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා අයත් විෂයයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශ ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය කිමෙක්ද යත්: මේ පඤ්චකාමගුණයෝ යි. කවර පසෙක් ද යත්: ඉටුකැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ යැ… කනින් දතයුතු ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ … දිවෙන් දත යුතු රසයෝ යැ. ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය යි.
මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශයක් නො ලබන්නේ ය. මරු අරමුණක් නොලබන්නේ ය. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කිමෙක්ද යත්: මේ සිවු සීවටන්හු යි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි … සිත්හි ... දහම්හි දහම් අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ මහණහට ගෝචර වූ සිය පියසතු විෂය යි.
3. 1. 7.
මක්කට සූත්‍රය
1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.