3. 1. 5.
කුසලරාසි සූත්‍රය
1183. මහණෙනි, අකුසලරැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මහණෙනි, මේ හුදු අකුසල්රැසෙකි. කවර පසෙක්ද යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මහණෙනි, අකුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මේ හුදු අකුසල්රැස යි.
මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල් රැසෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි … සිත්හි… දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසේ. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල්රැස යි.
3. 1. 6.
සකුණග්ඝි සූත්‍රය
1184. මහණෙනි, පෙර ගිජුලිහිණියක් සැහැසිකමින් පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හි කැට කුරුලු තෙමේ ගිජුලිහිණිය විසින් හැර ගෙන යනු ලබන්නේ මෙසේ හැඬී ය: යම්බඳු අපි අගෝචර වූ අනුන් අයත් විෂයෙහි හැසුරුණමෝ නම් (ඒ) අපි ම කාලකන්නි වම්හ. අපි ම පින් නැත්තම්හ. ඉදින් අපි ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසුරුණමෝ නම් මේ ගිජුලිහිණි මේ යුද්ධයට නො ද සමත් වන්නී ය යි. එම්බල කැටකුරුල්ල තාගේ ගොදුරු වූ සියපියසතු විෂය කිමෙක් දැ”යි. නඟුලෙන් සාන ලද කෙතෙහි කැට නැඟි තැනයි. මහණෙනි, එකල්හි ගිජුලිහිණි සිය බලයෙහි තද ව සිට සියබලය වනමින් එම්බල කැටකුරුල්ල, තෝ යා, එහි ද ගොස් මාගෙන් නො මිදෙන්නේ යැ යි මිදුවා ය.
මහණෙනි, ඉක්බිති කැටකුරුලු තෙමේ නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් මහත් කැටකට නැඟ “ගිජුලිහිණිය, දැන් එව, ගිජුලිහිණිය, දැන් එව” යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. මහණෙනි, එකල්හි ඒ ගිජුලිහිණි සියබලයෙහි තද කොට සිටගෙන සියබලය වනමින් දෙපියාපත් නඟා කැටකුරුල්ලා වෙත සැහැසි කමින් පැමිණියා ය. මහණෙනි, යම් කලෙක කැටකුරුලු තෙමේ ගිජුලිහිණි මා පිණිස බොහෝ දුර ආවා යි දැන ගත්තේ නම් එකල්හි ඒ කැටෙහි ම ඇතුළට පිවිසියේ ය. මහණෙනි, එකල ගිජුලිහිණිය එහි ම ළය තළාගත්තා ය. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරේ නම් එය මෙසේ ම වේ.
මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා අයත් විෂයයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශ ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය කිමෙක්ද යත්: මේ පඤ්චකාමගුණයෝ යි. කවර පසෙක් ද යත්: ඉටුකැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ යැ… කනින් දතයුතු ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ … දිවෙන් දත යුතු රසයෝ යැ. ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය යි.