2. 5. 2.
චක්කවත්ති සූත්‍රය
588. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සත්රුවනෙක පහළවීම වේ. කවර සතෙක් ද යත්: සක්රුවනෙහි පහළ වීම වේ. ඇත්රුවනෙහි පහළවීම වේ. අස්රුවනෙහි පහළවීම වේ. මිණිරුවනෙහි පහළවීම වේ. ඉතිරි රුවනෙහි පහළවීම වේ. ගැහැවිරුවනෙහි පහළ වීම වේ. පුත් රුවනෙහි පහළවීම වේ. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සත් රුවනුන්ගේ පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සත් බොජඟරුවනුන්ගේ පහළවීම වේ. කවර සතෙක යත්: සිහිසම්බොජඟරුවනෙහි පහළවීම වේ ... උපේසම්බොජඟරුවනෙහි පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත්බොජඟරුවනුන්ගේ පහළවීම වේ යි
2. 5. 3.
මාර සූත්‍රය
589. මහණෙනි, මරසෙන් මඩින මඟ තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මරසෙන් මඩින මග කවරේ ද යත්: මේ සත්බොජඟ යි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, මේ මරසෙන් මඩින මඟ යි.
2. 5. 4.
දුප්පඤ්ඤ සූත්‍රය
590. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අනුවණ කෙළතොලු ය, අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “අනුවණ කෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නො බහුල කළ බැවින් “අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “අනුවණකෙළතොලු ය” යි කියනු ලැබේ.
2. 5. 5.
පඤ්ඤව සූත්‍රය
591. වහන්ස, “නුවණැති නොකෙළතොලු ය, නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නුවණැති නොකෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නුවණැති නොකෙළතොලු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් “නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ යි.
2. 5. 6.
දළිද්ද සූත්‍රය
592. වහන්ස, “දිළිඳු ය දිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “දිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩූ බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ යි.
2. 5. 7.
අදළිද්ද සූත්‍රය
593. වහන්ස, “නොදිළිඳු ය නොදිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි.මහණ, සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නොදිළිඳු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ යි.