2. 4. 1.
කුසල සූත්රය
577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්රමාදයෙහි ඇතුළත් වූවෝ ය. අප්රමාදය ඒ ධර්මයනට අග්රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
2. 4. 2.
දුතිය කුසල සූත්රය
578. මහණෙනි, යම්කිසි දහම් කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල්පස්හි වූවෝ ද ඒ සියල්ලෝ නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇතියහ. නුවණින් මෙනෙහි කිරීමෙහි ඇතුළත්හ. නුවණින් මෙනෙහි කිරීම ඒ දහමුන්ට අග්රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
2. 4. 3.
කිලේස සූත්රය
579. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද ප්රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස (-ආභරණ ආදිය තැනීම සඳහා) මැනැවින් නො ද පැමිණේ (සුදුසු නො වේද) ද ස්වර්ණයට මේ (එබඳු) කෙලෙස් පසෙකි:- කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද ප්රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස මැනැවින් නො ද පැමිණේ ද, යකඩ ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ලොහො ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … කළුතුඹු ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … සුදුතුඹු ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද බබළනසුලුත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස නො ද පැමිණේ ද රිදී ස්වර්ණයට (එබඳු) කෙලෙසුමකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ ස්වර්ණය මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද බබළන සුලුත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, කර්ම පිණිස නො ද පැමිණේ ද මේ පස ස්වර්ණයට එබඳු කෙලෙසුම් ය.
මහණෙනි, එසෙයින් ම යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, සිතට මේ (එබඳු) කෙලෙස් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්රභාස්වරත් නො වේද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, කාමච්ඡන්දය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ව්යාපාදය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ථීනමිද්ධය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … උද්ධච්චකුක්කුච්චය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, විචිකිච්ඡාව සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, මොහු පස සිතට එබඳු කෙලෙස් යි.