2. 3. 4.
යෝනිසෝ සූත්‍රය
570. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් සතිසම්බොජ්ඣඞ්ගය නූපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි ... නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නූපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි.
මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්චන්‍දයත් නූපදී. උපන් කාමච්චන්‍දයත් ප්‍රහීණ වෙයි. නූපන් ව්‍යාපාදයත් නූපදී. උපන් ව්‍යාපාදයත් ප්‍රහීණ වෙයි. නූපන් ථීනමිද්ධයත් නූපදී. උපන් ථීනමිද්ධයත් ප්‍රහීණ වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් ප්‍රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාවත් නූපදී. උපන් විචිකිච්ඡාවත් ප්‍රහීණ වෙයි. නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යෙයි ... නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
2. 3. 5.
අපරිහානිය සූත්‍රය
571. මහණෙනි, සත්අපරිහානිය (නො පිරිහීමට කරුණු වූ) දහම් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සත්අපරිහානිය දහම් කවරහු ද යත්: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ය ... උපේඛාසම්බොජ්ඣඞ්ගය ය යි. මහණෙනි, මොහු සත්අපරිහානිය දහම්හු යි.
2. 3. 6.
ඛය සූත්‍රය
572. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී ද: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. “වහන්ස, සත්බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතිද්දෝ යි.
උදායි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පැතුරුණක් මහත් බවට පැමිණියක් අප්‍රමාණ වූවක් නිදුක් වූවක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්පමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වේ. තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් කර්‍මය ප්‍රහීණ වේ. කර්‍මය ප්‍රහීණ වීමෙන් දුක ප්‍රහීණ වේ. උදායි, මෙසේ තෘෂ්ණාක්‍ෂයයෙන් කර්‍මක්‍ෂය වේ. කර්‍මක්‍ෂයයෙන් දුඃඛක්‍ෂය වේ යි.
2. 3. 7.
නිරෝධ සූත්‍රය
573. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී ද? මේ සත් බොජ්ඣඞ්ගයෝ යි, කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි.මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලද්දාහු මෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් යි.